Monday, May 11, 2015

දවස් 30න් කෙට්ටු වෙන්න දේශීය රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න

අධික තරබාරු බව අප රටේ කාන්තාවන් අතර සුලබ, සෞඛ්‍ය ගැටලුවකි. මේ නිසා ශරීරයේ සුන්දරත්වයට හානියක් වෙනවා වගේම එදිනෙදා වැඩකටයුතුවලටත් බාධාවක් වෙනවා. ඒ වගේම බරපතළ රෝග ගණනාවක්ම ඇති කරන අවදානම් සාධකයක් වශයෙනුත් තරබාරු බව සැලකෙනවා.
අවශ්‍ය පමණට වඩා තරබාරු බව හඳුන්වන්නේ "ස්ථොල්‍යය" වශයෙන්ය. එහි තේරුම අධික ස්ථුලතාවයයි. එමෙන්ම මෙම තත්ත්වය "මේදෝ රෝග" වශයෙන්ද හැඳින් වෙනවා. අධිකව තෙල් සහිත මෙන්ම පැණි රස (මධුර) ආහාර වර්ග පරිභෝජනය නිසාත්, ව්‍යායාමවලින් තොර දිවි පෙවෙතක් ගත කිරීම නිසාත් එමෙන්ම "ආරය" නිසාත් ස්ථුලතාව ඇතිවන බව සඳහන් වෙනවා.
ශරීරයේ විවිධ කොටස්වල එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වීමත්, එම නිසාම ඇතිවන එදිනෙදා කටයුතු කිරීමේ කාර්යක්‍ෂමතාව අඩුවීමත් මේ නිසා ඇති වෙනවා. මීට අමතරව අධික වෙහෙස, වැඩ කිරීමේදී හානිය, මහන්සිය ඇති වීම සහ අවසානයේදී විවිධ ලෙඩ රෝගවලට භාජනය වී ආයුෂ පවා අඩුවන බව සඳහන් වෙනවා. අධික තරබාරු බව ඇති වෙන්නේ ශරීරයේ විවිධ ස්ථානවල අධිකව මේද තැන්පත් වීමෙන්.
slimඅප ගන්නා ආහාරයේ අඩංගු කාබෝහයිඩේ්‍රට්, ප්‍රෝටීන හා මේද අධිකව ඇත්නම් ඒවා මේද බවට පත්වී මෙසේ තැන්පත් වෙනවා. වෙනත් විදියකින් ප්‍රකාශ කරන්නේ නම් දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ප්‍රමාණයක් ශරීරයට ලැබීම මඟින් කෙනකු අධිකව තරබාරු වීමට පුළුවන්. මෙම මේද ශරීරයේ විවිධ ස්ථානවල විශේෂයෙන්ම උදර බිත්තියේ, පියයුරුවල, ඉඟ ප්‍රදේශයේ, කලවාවල ආදී ප්‍රදේශවල තැන්පත් වීමෙන් එම ස්ථාන අනවශ්‍ය පරිදි විශාල වෙනවා. තවත් එක් වැදගත් හේතුවක් වන්නේ මෙසේ ආහාරයෙන් ලැබෙන අතිරික්ත කැලරි වැය නොවීමයි. එවිට ඒවා මේද වශයෙන් තැන්පත් වේ. ඒ අනුව අක්‍රිය දිවි පෙවෙතක් ගත කරන අය මෙසේ ස්ථුල බවට පත් වේ.
ඒ අනුව ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, ව්‍යායාම නොකිරීම, වැඩිපුර නිදා ගැනීම වැනි කරුණු ස්ථුලතාවට හේතු වෙනවා.
මේද පරිවෘත්තියට බාධා පැමිණීම මඟින්ද මේදය ශරීරයේ තැන්පත් වෙනවා. විශේෂයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවන අවස්ථාවලදීත්, Adrenalin නම් (ඇඩ්රිනල්) නම් හෝමෝනය නිෂ්පාදනය අඩුවන අවස්ථාවලදීද ශරීරය තරබාරු වෙනවා. වයසට යෑමේදීත් ශරීරය තුළදී මේදය ප්‍රයෝජනයට ගැනීම අඩුවීමෙන් ශරීරය තරබාරු වෙනවා. මේ ආකාරයට ආහාරමය කරුණු, ව්‍යායාම නොකිරීම වැනි ජීවන රටාව හා බැඳුණු කරුණු මෙන්ම විවිධ ලෙඩ රෝගද තරබාරු බවට හේතු වෙනවා. තරබාරුවට හඳුනාගන්නේ කොහොමද? තරබාරු බව වසංගතයක් මෙන් පැතිරී යන රෝග තත්ත්වයක් ලෙස දැක්වේ. බෝ නොවන රෝග කාණ්ඩයේ සාමාජික රෝගයක්. ශ්‍රී ලංකාවේ මෙම තත්ත්වය වර්ධනය වීමට විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය ඉත සුලබයි. නාගරීකරණයට ලක්වීම, අධ්‍යාපන මට්ටම ඉහළ යෑම, ආදායම් මට්ටම ඉහළ යෑම මෙන්ම "මැදි වයස" තරබාරු බව ඇති වීමට හේතු කාරණා වෙනවා.
ජීවිතයට තර්ජනයක් තරබාරු බව නිසා එදිනෙදා කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට නොහැකි වෙනවා. වැඩ කිරීමේදී ඉක්මනින් වෙහෙසට පත් වෙනවා. ශරීරයේ විවිධ අවයව එල්ලා වැටීමෙන් ශරීරය අවලස්සන වෙනවා. ශරීරයේ බර අධික වීමෙන් සන්ධි රෝග ඇති වීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි වෙනත් දීර්ඝකාලීන බරපතළ රෝග ගණනාවක් ඇති වීමට හේතුවක් වශයෙනුත් තරබාරු බව හේතු වෙනවා. ඒ අතුරින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.
තරබාරුකමෙන් මිදීම ආහාර - ප්‍රධාන වශයෙන්ම අධි පෝෂණයෙන් වළකින්න අවශ්‍යයි. දෛනික අවශ්‍යතාවට වඩා වැඩිපුර කැලරි ශරීරයට ලැබෙන ආහාරවලින් අෑත් වෙන්න. විශේෂයෙන්ම අධික තෙල් සහිත ආහාර, පැණි රස බහුල ආහාරවලින් වළකින්න. විවිධ රසකාරක අඩංගු කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න. කුසගින්න නොදැනේ නම් ආහාර ගැනීමෙන් වළකින්න. ආහාර ගන්නා අතර වාරයේ වෙනස් විවිධ කටයුතුවලින් වළකින්න. උදාහරණ වශයෙන් රූපවාහිනිය නරඹමින් ආහාර ගැනීම වැනි කටයුතුවලින් වළකින්න.
ව්‍යායාම ශරීරයේ ඇති අතිරික්ත කැලරි දහනය කරවීම සඳහා දිනපතා ක්‍රමානුකූල ව්‍යායාමවල යෙදෙන්න. ඇවිදීම, ක්‍රීඩාවක නිතර වීම පිහිනීම වැනි කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම ඉතා අවශ්‍යය. මේ මඟින් අතිරික්ත කැලරි දහනයට මඟ පෑදෙයි.
ප්‍රතිකාර අතිස්ථුලතාවට සැලැසුම් සහගත ප්‍රතිකාර ක්‍රමයක් දක්වා ඇත. ඒ තුළ ආහාර පාලනය, ව්‍යායාම මෙන්ම ඔෟෂධද සඳහන් කර ඇත. එනම් ශරීරයේ සැහැල්ලු කරන විවිධ ක්‍රමවේද දක්වා ඇත. තවත් සමහර අවස්ථාවලදී ක්‍රමානුකූලව ආහාර නොගෙන සිටීමත් දක්වයි. පුද්ගලයාගේ ශරීර තත්ත්වයට අනුව ආහාර වේල් එකක්, දෙකක් හෝ කිහිපයක් නොගෙන සිටීමද තරබාරු බව අඩු කිරීමට සුදුසු ක්‍රමයකි. මීට අමතරව "ලේඛනීය" ද්‍රව්‍ය ලෙස සැලකෙන ඔෟෂධවලින් ශරීරයේ අතිරික්ත මේදය දහනය කිරීමට ඉඩ සලසයි. මෙසේ ආහාර පාලනය හා ව්‍යායාම යන මූලික කරුණු අනුගමනය කරන අතර තුර සරල පහසු ඔෟෂධ මඟින් ශරීර බර අඩුකර ගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. ඒවා බොහොමයක් නිවෙසේදීම පිළියෙල කරගත හැකිය.
දවස් 30න් කෙට්ටු වෙන්න දේශීය රහස් බෙහෙත් වට්ටෝරු මෙන්න
• උදෑසන අවදි වූ විගස පළමුව තරමක් රස්සනය ඇති වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ආහාර ජීර්ණය හොඳින් සිදුවන අතර මල බද්ධයද වළක්වයි. මෙය මාසයක් පමණ අඛණ්ඩව සිදු කිරීමෙන් ශරීර බර අඩුවේ. මෙහිදී පානය කිරීමට තරම් හොඳ රස්නයේ වතුර තිබිය යුතුය. නිවුණු වතුර සුදුසු නොවේ. ම¼ද රස්නය ඇති (උණු වතුර නොවිය යුතුය)
• වතුර වීදුරුවකට මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර උදේ හිස් බඩ පානය කරන්න. මෙය මාස කීපයක් අඛණ්ඩව කිරීමෙන් ශරීරයේ බර අඩුවේ.
• උදේ ආහාර වශයෙන් දිනපතා කැඳ වතුර පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් වියළි ඉඟුරු කැබැල්ලක් දමා කැඳ පිළියෙල කරගන්න. මාසයක් පමණ කාලයක් මෙසේ කිරීමෙන් බර අඩුවේ.
• රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. නින්දට යෑමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට දෙහි ඇඹුල් තේ හැඳි 1/2ක් හා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍රකර පානය කරන්න. මෙය දිනපතා කිරීමෙන් ශරීර බර අඩුවෙයි.
• දිනපතා ආහාරයෙන් පසු සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර අඩු කෝප්ප 1ක් පානය කරන්න. මේ මඟින් ආහාර දිරවීම වර්ධනය කරයි. මේද අවශෝෂණය අඩු කරයි. ශරීර බර අඩු කරයි.
• ගෝවාවල Tartroic acid තිබේ. ඒ මඟින් සීනි හා කාබෝහයිඩේ්‍රට් වර්ග මේදය බවට පත් කිරීම වළක්වයි. මේ නිසා ගෝවා මඟින් ශරීර බරද අඩු කරයි. දිනපතා ගෝවා ග්‍රෑම් 50ක් පමණ දෙහි යුෂ සමඟ සලාදයක් වශයෙන් ආහාරයට ගැනීම සුදුසුය.
• කරපිංචා කොළ කොටා සාදාගත් ඉස්ම කෝප්ප 1/2ක් දෙහි ගෙඩි 1/2ක ඉස්ම සමඟ මිශ්‍රකර උදේට පානය කරන්න. මෙයට ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කළ හැකිය.
මේ අනුව ශරීර බර අඩු කිරීම සඳහා ආහාර පාලනය සහ ක්‍රියාශීලී දිවිපෙවතකින් මනා පිටුවහලක් ලැබෙනවා මෙන්ම ගෙදරදී පිළියෙල කරගත හැකි සරල ආහාර හා අත් බෙහෙත්ද ඇති බව ඔබ දැන් දන්නවා.


ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ

Wednesday, January 7, 2015

නිවසේදී සාදාගත හැකි ඉන්දීය අත් බෙහෙත්

අපට නිතර ඇතිවන ලෙඩ රෝග සඳහා නිවසේදීම සකස්‌ කර ගත හැකි ඉන්දීය අත්බෙහෙත් වට්‌ටෝරුවක්‌ මෙසේය.
ඇදුම රෝගය සඳහා -
මී පැණි තේ හැඳි 1 ක්‌ සහ කුරුඳු පොතු කුඩු තේ හැඳි කාලක්‌ එකට මිශ්‍ර කර භාවිත කිරීමෙන් ගුණ ලබා දේ. ඇදුම රෝගයේ මුල් අවස්‌ථාවෙහි පසු වන්නන්ට කරාඹු නැටි 8-10 අතර ප්‍රමාණයක්‌ හා සුදුළුණු ස්‌වල්පයක්‌ කිරි කෝප්ප භාගයකට මිශ්‍ර කර උතුරවා රාත්‍රි කාලයේ භාවිත කිරීම යෝග්‍යය. එමෙන්ම උතුරවා ගත් ජලයට මී පැණි තේ හැන්දක්‌ මිශ්‍ර කර රාත්‍රි කාලයේ පානය කිරීමද යෝග්‍යය.
කොන්දේ වේදනාව සඳහා
දෙහි යුෂ ඉතාමත් ගුණදායී පානයක්‌ ලෙස දැක්‌විය හැකිය. දෙහි ගෙඩියක යුෂ මිරිකා එයට ලුණු ස්‌වල්පයක්‌ මිශ්‍ර කර දිනකට දෙවරක්‌ පානය කිරීම මෙවැනි අවස්‌ථාවකදී යෝග්‍යය. මෙයට අමතරව අමු අල ගෙඩියක ලෙල්ල ඉවත් කර එම අල ගෙඩිය වේදනාව පවතින ප්‍රදේශයට තැබීමද ප්‍රතිකාරයකි. විටමින් සී අඩංගු ඕනෑම සීට්‍රස්‌ කුලයට අයත් පලතුරකින් මිලි ග්‍රෑම් 2000 ක්‌ පමණ දිනපතා ආහාරයට ගැනීම හෝ පානය කිරීමද කොන්දෙහි වේදනාව සඳහා යෝග්‍යය.
සුදුලූනු තෙල් වේදනාව පවතින ප්‍රදේශයෙහි ආලේප කිරීමද කොන්දෙහි වේදනාව සමනය කිරීමට උපකාරි වේ. මෙහිදී සුදුලූනු ගෙඩි 10 ක්‌ පමණ කුඩා කැබලිවලට කපා අඩු උෂ්ණත්වයක්‌ යටතේ තෙලෙන් බැද එයට සෙසම් තෙල්, පොල්තෙල් හෝ අබ තෙල් මිශ්‍ර කර සුදුලූනු තෙල් සාදාගත හැකිය. මෙහිදී සුදුලූනු හා කරාඹු නැටි දුඹුරු පැහැය වනතෙක්‌ තෙලෙන් බැද ගත යුතුය. අනතුරුව එම තෙල් සිසිල් වන්නට හැර වේදනාව පවතින පසුපස කොටසෙහි ආලේප කර පැය තුනක කාලයක්‌ තැබිය යුතුය. දින කිහිපයකින් වේදනාව නැති වී යයි.
කැස්‌ස සඳහා
මිදි යුෂ සඳහා මී පැණි තේ හැන්දක්‌ කලවම් කර දිනකට කෝප්පයක්‌ බැගින් පානය කිරීමෙන් ගුණ ලබා දෙයි. වියළි කැස්‌ස සඳහා ආමන්ඩ් යෝග්‍යය. ආමන්ඩ් ඇට හතක්‌ ජලයට දියකර රාත්‍රියක්‌ තබා එම ඇටවල පොතු ඉවත් කර ගත යුතුය. අනතුරුව එම ඇට කුඩු කර බටර් හා සීනි ග්‍රෑම් 20 ක්‌ බැගින් එක්‌ කර තලපයක්‌ සාදා එම මිශ්‍රණයෙන් ස්‌වල්පය බැගින් දිනකට දෙවරක්‌ භාවිත කළ යුතුය. මෙහිදී උදැසන හා සවස භාවිත කිරීම යෝග්‍යය.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා -
ලෙමන් සෙම්ප්‍රතිශ්‍යාවට අතිශයින් ගුණදායී පලතුරක්‌ සේ සැලකේ. උණුසුම් ජලය කෝප්පයකට ලෙමන් යුෂ එක්‌කර මී පැණි තේ හැන්දක්‌ද මිශ්‍ර කර දිනපතා වරක්‌ හෝ දෙවරක්‌ භාවිත කිරීම යෝග්‍යය.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා
ගම්මිරිස්‌ කුඩු මේස හැඳි 1 ක්‌ කිරි කෝප්පයකට මිශ්‍ර කර උතුරවා එයට කහ ස්‌වල්පයක්‌ හා සීනි ස්‌වල්පයක්‌ මිශ්‍ර කර දිනකට වරක්‌ බැගින් පානය කිරීමද යෝග්‍යය. දින තුනක්‌ මෙය පානය කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව සුව කර ගත හැකිය.


ඉන්දීය ජාතික
දේශීය වෛද්‍ය ශෂිකාන්ත් එස්‌ සෙත්
විසින් ලබා දුන් තොරතුරු මත සැකසිණි.

Tuesday, December 23, 2014

රෝග රැසක්‌ සැඟවී ඇති කාන්තා තරබාරුව

ස්‌ථූල භාවය හෙවත් තරබාරුව වර්තමානයේ ශ්‍රී ලාංකික කාන්තාවන් බහුතරයකට මතුව ඇති ගැටලුවකි. මෙම ගැටලුව කොතෙක්‌ දුරට සංකීර්ණ වී ඇත්දැයි කියා පැහැදිලි වන්නේ වයස අවුරුදු 7-8 පමණ වියේ සිට ගැහැනු දරුවන් පවා ස්‌ථූල භාවයට ගොදුරුව සිටීමය.
කාන්තාවට ස්‌ථූල භාවය ඉතා බරපතළ අයුරින් බලපාන්නේ ඉන් ඔවුනගේ ස්‌ත්‍රී හෝමෝන පද්ධතිය අක්‍රමවත් වන බැවින් එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ඔවුන් මද සරුභාවයට පත්වීමය. එනිසා මව් පදවිය ලැබීමට උරුමකම් කියන කාන්තාවන් අධික ස්‌ථුල භාවය නිසා එම උතුම් වරම අහිමි කර ගැනීමට තරම් අවාසනාවන්ත විය යුතු නැත.
කාන්තාවන් ස්‌ථූල භාවයට පත්වීමට හේතු
වර්තමානයේ ශ්‍රී ලාංකික ගැහැනු දරුවන් සහ කාන්තාවන් ස්‌ථූල භාවයට පත්වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔවුනගේ වැරැදි ආහාර රටාවන්ය. අධික කැලරි සහිත ආහාරපාන වන පැණි රස කෑම, ක්‍ෂණික ආහාරපාන, මේදය අධික ආහාර දිනපතා බහුලව ගැනීමට හුරුවීම නිසා කාන්තාවෝ ඉතා පහසුවෙන් ස්‌ථූලතාවයට පත්ව සිටිති.
මෙලෙස ස්‌ථූලතාවයට පත්වීමෙන් ඔවුනගේ ඊස්‌ට්‍රජන්, ප්‍රොජෙස්‌ටරෝන් හෝමෝන පමණක්‌ නොව ඉන්සියුලින්, තයිරොයිඩ් හෝමෝන ඇතුළු සියලුම හෝමෝන පද්ධතිය අසමතුලිතතාවයට පත්වේ. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් අධික බව, හෘද රෝග, අක්‌මා රෝග, පිළිකා, ඩිම්බකෝෂ ආශ්‍රිත රෝග ඇතුළු රෝග රැසකට ගොදුරු වීමය.
ස්‌ථූල බව පාලනය
ස්‌ථූල බව පාලනය කර ගැනීම සඳහා ඇත්තේ ඉතා පහසු ක්‍රම දෙකකි. එනම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීමය. නමුත් වර්තමානයේ බොහෝ කාන්තාවෝ මෙම පහසු ක්‍රම දෙක නිවැරැදි අයුරින් භාවිතා කිරීමට නොදන්නාකම නිසා ස්‌ථූල බව පාලනය කරගත නොහැකිව ලතවෙති.
ස්‌ථූල බව පාලනයට කියා දවසේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක්‌ හෝ දෙකක්‌ අඩුකර නිරාහාරව සිටිති. ඉන් සිදු වන්නේ ශරීරය විසින් ආහාර ගබඩා කර ගැනීමට යොමු වීමය. සිරුරට නිසි ලෙස ආහාර නොලැබෙන විට ඊට මුහුණදීම සඳහා ශරීරය විසින්ම ආහාර ගබඩා කර ගැනීමකට යොමුවේ. එහි ප්‍රතිඵලය වන්නේ ස්‌ථූලතාවයට පත්වීමය.
ඇතැම් කාන්තාවෝ ස්‌ථූලතාවයට බියෙන් කිරි පානය නොකරති. නමුත් ඔවුහු සීනි සහිත තේ පානය කරති. කාන්තාවන්ට එළකිරි හෝ එළුකිරි ඉතා ගුණදායකය. ඉන් ඔවුනගේ සිරුරට අවශ්‍ය කැල්සියම් පෝෂණය ලබාගත හැකිය. සීනි ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණයක්‌ නොවේ. නමුත් බොහෝ කාන්තාවෝ අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍යයක්‌ වන කිරි අතහැර දමා සීනි හැඳි දෙක තුනක්‌ මිශ්‍රකර තේ පානය කරති.
ස්‌ථූල බව පාලනය සඳහා වර්තමානයේ බොහෝ කාන්තාවන් අනුගමනය කරන ජනප්‍රිය ආහාර පුරුද්දක්‌ වනුයේ රාත්‍රියට පළතුරු කෑමය. නමුත් ආහාර පාලනයේ දී හොඳින් ඉදුණු පලතුරු කෑමෙන් සිදු වන්නේ සිරුරට වැඩිපුර සීනි එකතු වීමය. එනිසා පලතුරු ආහාරයට ගැනීමේදී හොඳින් පැසුණු පලතුරු පමණක්‌ කෑමට ගත යුතුය.
ස්‌ථූල බව පාලනය කිරීම වෛද්‍ය උපදෙස්‌ මත සිදු කළ යුතුය. එහිදී එකිනෙකාගේ වයස, ස්‌ථූල බව සහ ශරීර සෞඛ්‍යය පරීක්‍ෂා කර දිනකට ගත යුතු ආහාර වේල් ගණන තීරණය කරනු ලබයි.
ස්‌ථූල බව පාලනය කිරීමේදී අඩුම වශයෙන් දිනකට ආහාර වේල් පහක්‌වත් ගත යුතුය. එම ආහාර වේල් සඳහා එළවළු, ධාන්‍ය වර්ග වැනි කෙඳි සහිත ආහාර යොදාගනු ලබයි.
ක්‍ෂණික ආහාරපාන, මේදය බහුල සහිත සහ සීනි බහුල ආහාරපාන ගැනීම සීමා කරනු ලබයි.
එබැවින් කාන්තාවන් තරබාරුව හෙවත් ස්‌ථූල බව පාලනය සඳහා නිවැරැදි ක්‍රම අනුගමනය නොකළහොත් සිදු වන්නේ තව තවත් තරබාරු වී අවසානයේ දී මදසරු කාන්තාවන් බවට පත්වීමය.
ප්‍රජනන සෞඛ්‍ය උපදේශිකා
වෛද්‍ය චම්පා නෙල්සන්

Monday, December 8, 2014

රුධිරය පිරිසිදු කරන හාතාවාරිය

 

හාතාවාරිය ශාකය උද්‍යාන අලංකාර පිණිස වගා කරන ඖෂධීය ගුණයෙන් යුක්‌ත අගනා වැළකි. මෙහි උපත නැගෙනහිර මධ්‍යධරණී රටවල සිදු වූ බවත් ක්‍රි. පූ. 200 දී පමණ රෝමවරුන් විසින් වගා කරනු ලැබූ බවත් සඳහන් වේ.
උද්භිද විද්‍යාත්මක නාමය As paragus Race mosus willd නම් විය. කුලය ලෙස Liliacene ලෙසද දෙමළ නාමය කඩාචරි ඉංග්‍රීසියෙන් Wild As paragus යන නම්වලින් හැඳින් වෙන ආයුර්වේදයේ දී ඉතා උසස්‌ ඖෂධීය ගුණයෙන් යුක්‌ත පැළෑටියක්‌ ලෙස සැලකේ.
ලංකාවේ බොහෝ ගෘහ උද්‍යානවල වගාකරනු ලබනු දක්‌නට ඇතිමුත් එහි ඇති ඖෂධීය ගුණය වටහා ගෙන නැත.
වැලක්‌ ලෙසින් දිගට වැවෙන මෙය සිහින් කොළවලින් යුක්‌ත අතු බෙදී ඇත. මුල් වැඩෙන්නේ අලංකාර අල ලෙසිනි. කොළ පැහැති කඳ ත්‍රිකෝණකාර කොටස්‌වලින් සෑදෙයි. වැලේ බඳෙහි කටු දැකිය හැකිය.
මෙහි කොළ කොටා මිරිකා ගත් යුෂ සහල් හා පොල්කිරි සමග මිශ්‍රකර සාදාගත් කැඳ ශරීරගත රෝග රැසකට ගුණදායකය. රුධිරයේ අම්ලතාවය නැති කොට ලේ පිරිසිදු කරන ඖෂධයකි.
හෘදරෝග වාත රෝග හන්දි ඉදිමීම නැති කර ශරීරය සිසිල් කරන ගුණයක්‌ ඇති කරයි. වා පිත් නසයි. ප්‍රජනන ව්‍යqහයට ඉතාමත් ගුණදායක ඖෂධයකි. වාජිකරණයකි. ශුක්‍ර වඩයි. තරුණ බව ඇති කරයි. හෘදයට හිතකරය. මුත්‍රාකාරකය. ශරීරමය දාහය සමනය වේ. මවුකිරි වඩා, ගර්භ දෝෂ නසා ශක්‌තිය වඩයි. මේ ආදී ලෙස හාතාවාරිය කොළ කැඳ ඉතා රසවත් ආහාරයකි.
මෙහි මල් සුදු පැහැති කුඩාය. සුගන්ධවත් මල් පොකුරු වශයෙන් හට ගැනේ. ගෝලාකාර ගෙඩි ඉදුණු පසු රත් පැහැයක්‌ ගනී. එහි එක බීජයක්‌ හෝ දෙකක්‌ තිබිය හැකිය. නිවර්තන උප නිවර්තන වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, නිවර්තන අප්‍රිකාව, ජාවා, ඕස්‌ටේ්‍රලියාව ආදී රටවල දැකිය හැකිය.
ලංකාවේ පහත රට වියළි ප්‍රදේශයද ත්‍රිකුණාමලය, පුත්තලම, යාපනය, බිම්තැන්න, කුරුණෑගල, මිහින්තලය වැනි ප්‍රදේශවල මෙම ශාකය බහුලව දැකිය හැකිය.
මෙම ශාකයෙහි ඇති ඖෂධීය ගුණය ජනතාව දන්නේ ඉතා මඳ වශයෙනි. නගරයේ ගෙවතුවල අලංකාරයට වගා කළ නමුත් ගම්බද ජලය නොරැඳෙන වැලි සහිත මෘදු ලෝම හියුමස්‌ මිශ්‍ර පසෙහි හොඳින් වැඩේ.
මෙහි වර්ග දෙකක්‌ දැකිය හැක. එකම ස්‌වරූපයෙන් යුක්‌ත විශාල පඳුරු ලෙස වැවෙන වැලෙහි අල මුල හා සමානව දිගෙන් යුක්‌තය. කුඩා පඳුරක්‌ ලෙස පිහිටි වැලේ මලෙහි ශාඛා කඳන් අඩුය. එසේම එහි මුල් දිගට නොවැඩී පඳුර සමීපයේම බෝල බෝල අලංකාර අල තිබේ. මෙම වර්ගය ඉතා අඩුය.
මෙම වැලෙහි මල් වියළා කරපිංචා කොළ කූණිස්‌සන් වැනි දෙයක්‌ සමග මිශ්‍ර කර බැදගත් විට ඉතා රසවත් තෙල් බැඳුමකි. මෙම දෙවර්ගයේ අල ආයුර්වේද කසායවලට ගනු ලැබේ. එසේම මෙම අල මිශ්‍රකර ඇදුම රෝග පිළියම් සඳහා යෝග්‍ය ඖෂධ වර්ග නිෂ්පාදනය කරයි.
මෙම වලෙහි අල මෝරා යාම මාස 9 - 12 ත් අතරදී සිදුවේ. එවිට වැල මැරෙයි. පසුව එම අලවලින් නැවත පැළ හටගනී. වැල මැරී ගිය විට මෙහි අස්‌වැන්න ලබන කාලයයි.
හාතාවාරිය අල තම්බා මැද ඇති නාරටිය ගලවා පොත්ත ගලවා දැමූ විට අලංකාර අල විශේෂයකි. මෙම අල මඳක්‌ වියළා දිය සිඳී ගිය විට පැණිවලින් බැදගත් විට ඉතා රස එසේම ගුණයෙන් යුක්‌ත ඖෂධීය ආහාරයකි.
රාත්‍රී නිදිවරා වැඩ කරන අයට ඉතා ගුණාත්මකය.§ ගම්බද ප්‍රදේශවල භික්‍ෂූන් වහන්සේලා නිදිවරා පිරිත් දේශනය කරන අවස්‌ථාවලදී පිරිත් මණ්‌ඩපයට ඇතුළු කරන්නේය. එහි එක කැබැල්ලක්‌ සපා යුෂ උරා ගත් සැණින් උගුර බැරැන්ඩිය පහව මිහිරි කට හඬක්‌ මතු වේ. වර්තමානයේ එසේ පිරිත් මණ්‌ඩපයට සපයන්නේ ඉඟුරු, සූකිරි, සහිත හිරුපියලිය. එයද උගුර පැහැදිලි කර කට හඬ මිහිරි කිරීමට සමත්ය.
මෙය සැකසීමට උපකාර කළ වෛද්‍ය කුසුම් විජයරත්න මහතාට විශේෂ තුති පුද කරමි.
කො. ආ. ගුණසේකර ඇහැළියගොඩ

කුරුලෑ ඇතිවන හැටි

සමෙහි ඇති ස්‌වේද ග්‍රන්ථි තුළ වැඩිපුර ස්‌වේද (දහඩිය) නිපදවීම හේතුවෙන් එම ග්‍රන්ථිය තුළ ඇති රෝමය (කෙස්‌ ගස) මිය යයි. එම නිසා ග්‍රන්ථය තුළ සිරවන ස්‌වේදය නිසා සමෙහි අවට සෛල ආසාදනයට ලක්‌වේ. අවසානයේදී එය සැරව සහ බැක්‌ටීරියාවන්ගෙන් පිරී ගෙඩියක්‌ බවට පත්වේ. මෙය කඩා හෝ මිරිකා ඉවත් නොකළ හෝ ස්‌වභාවිකවම පුපුරා ගොස්‌ දින කිහිපයකින් සම යථා තත්ත්වයට පත්වේ. සමහර අවස්‌ථාවන්හිදී සමේ ගැඹුරින් පිහිටා ඇති ග්‍රන්ථියක කුරුලෑවක්‌ ඇතිවූ විට එය ස්‌වභාවිකවම පුපුරා නොගොස්‌ ඝන බවට පත්වී ගෙඩියක්‌ ලෙසින් එලෙසම පවතී.
වැඩි වශයෙන් ඇති විය හැකි පිරිස ගැහැනු පිරිමි භේදයකින් තොරව දෙපාර්ශ්වයටම කුරුලෑ එක ලෙසම හට ගත හැකිය. සමහර විට ගැහැනු ළමුන්ගේ ආර්ථවය සිදුවීම ළං වන විටම කුරුලෑ ඇති විය හැකිය.
කුරුලෑ ඇතිවීමට හේතු
මානසික අසහනය
නිතර නිතර තෙල් අධික ආහාර ගැනීම
ඔසප් චක්‍රයේ පවතින වෙනස්‌කම්
නිතරම අනවශ්‍ය ලෙස සබන් වර්ග හෝ වෙනත් දේ යොදා සම තදින් ඇතිල්ලීම හා සේදීම
රූපලාවන්‍ය කටයුතු සඳහා ගන්නා විවිධ ආලේපන වර්ග සහ දියර වර්ග සිරුරේ හෝමෝනවල අසමතුලිතතාවය
අපිරිසිදුකම
ඉස්‌සොරි පැවතීම
හරක්‌මස්‌ ඌරුමස්‌ සහ සැර මාළු වර්ග අනුභවය
අධික ලෙස පැණි රස වර්ග අනුභවය (චොකලට්‌ සහ කේක්‌ වැනි)
අධික දූවිල්ල දුම් සහ විෂබීජ වලට මූණ නිතරම නිරාවරණය වීම
පාලනය කරගත හැකි ක්‍රම
නිතරම පිරිසිදු වී සිටීම
සමබල ආහාර වේලක්‌ ගැනීම
නිතරම සමේ වියළි බව තබා ගැනීම සහ අනවශ්‍ය ආලේපන වර්ග භාවිත නොකිරීම
අලුත් එළවළු පලතුරු පලා වර්ග අනුභව කිරීම
පැණි රස වර්ග, තෙල් සහිත ආහාර, මස්‌ අනුභවය අවම කිරීම ආදී කරුණු ඉතා වැදගත් වේ.
මුහුණ පිරිසිදු කරගත හැකි ක්‍රම
දිනකට හෝ දින දෙකකට වරක්‌වත් මුහුණ ස්‌ටීම් (Sඑeaප) කිරීම මගින් සමෙහි අනවශ්‍ය මේද කොටස්‌ ඉවත් වී රෝම කූප ඉතා හොඳින් පිරිසිදු කරගත හැකිය. උදෑසන හා රාත්‍රී නින්දට යැමට පෙර සබන් යොදා මෘදු ලෙස උණුසුම් ජලය යොදාගෙන මුහුණ සේදිය යුතුය. එමගින් සමෙහි තෙල් සහ විෂබීජ ඉවත්කර රාත්‍රි කාලය පුරා විෂබීජ රඳවා තබා ගැනීමේ හැකියාව අඩු කරයි. සම පිරිසිදුව වියළිව තබයි.
වෛද්‍ය ප්‍රතිකාර
ප්‍රතිකාර ක්‍රම කිහිපයක්‌ පැවතුණත් මෙයින් ඉතාමත් සාර්ථක සහ ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර ක්‍රමය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයයි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය මගින් සියලුම චර්ම රෝගවලට ඉක්‌මන් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙනවා සේම කුරුලෑවලටද ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාදේ. ප්‍රමිතියානුකූලව නිෂ්පාදනය කරන ආයුර්වේද ඖෂධ භාවිතයෙන් කුරුලෑ පූර්ණ වශයෙන් සුවවී සමට ඉතාමත් ගුණදායක පෝෂණයක්‌ ලබාදෙන අතර සම තවදුරටත් පැහැපත්ව තබයි.
වෛද්‍ය හේමාල් පිලපිටිය
පිලපිටිය වෙදමැදුර
මීගමු පාර, අලුත්මල්කඩුවාව, කුරුණෑගල

Thursday, November 13, 2014

වස විස නැති ආහාර - සෙනසුරාදාට පොලොස්‌ රොටියක්‌


සතියේ දින හතට ගැළපෙන වස විසවලින් තොර පෝෂ්‍යදායී ආහාරපාන අප අවට පරිසරයෙන් ඕනෑ තරම් සොයාගත හැකි බව මේ වනවිට අප සතියේ දින පහක්‌ සම්බන්ධව හෙළිකළ තොරතුරුවලින් ඔබට වැටහෙනු ඇත.
මෙවර අප අවධානය යොමු කරන්නේ සෙනසුරාදා දිනට ගැළපෙන වස විස වලින් තොර ආහාරපාන ගැනයි.
සෙනසුරාදා යනු සිරිකත දේවියගේ දිනයයි. zකුවිනාමි මංගල ස්‌ත්‍රි භාගා, පුරුෂ භාගා, පූර්ණ කල්හි කදර් සිං සිං.." ලෙසින් මහා සෘෂි වෛද්‍යවරු සෙනසුරාදා දිනය ගැන සඳහන් කර ඇත. ඉන් පවසන්නේ යම් නිවසකට සිරිකත දේවියගේ ආශිර්වාදය ලැබීමට නම් එම නිවසේ සැමියා සහ බිරිඳ ඉතා යහපත්ව දිවි ගෙවිය යුතු බවය. එනම් බිරිඳ දේව මාතාවක්‌ ලෙසද සැමියා මනුස්‌ස, බ්‍රහ්ම, දේව ගති සිරිත් විරිත් වලින්ද යුක්‌ත වියයුතු බවය. එවැනි නිවසකට අනිවාර්යයෙන්ම සිරිකත දේවියගේ ආශිර්වාදය ද හිමිවේ.
සෙනසුරාදා යනු, කෙම්මුර දිනයකි. දෙවියන්ට භාරහාර වන දිනයක්‌ද බැවින් ඉතා චරිතවත් ලෙස දිවි ගෙවිය යුතුය.
උදේ කැඳ පානය
සෙනසුරාදා උදෑසන අලිගැටපේර දලු, ගොටුකොළ සහමුලින්ම, කරපිංචා, උදුපියළි කොළ සම සමව ගෙන කොටා යුෂ ගෙන කැළක්‌ පිළියෙල කරගෙන පිරිසිදු කිතුල් හකුරු සමඟ පානය ගුණදායකය.
උදේ ආහාරය
පොළොස්‌ ගැට හොඳින් තම්බා පිටිකර ගෙන හාල්පිටි, කඩල පිටි සහ මුං ඇට පිටි සම සමව මිශ්‍රකර පොල් සමඟ අනාගෙන රොටි සාදාගෙන ආහාරයට ගත හැකිය.
මෙම රොටි ආහාරයට ගැනීම සඳහා අමු ගම්මිරිස්‌, අමුමිරිස්‌, රතුලූනු සහ පදමට ලුණු මිශ්‍ර කර ගලේ අඹරාගෙන දෙහි ඇඹුල් දමා රසවත් ලුණු මිරිසක්‌ පිළියෙල කර ගත හැකිය.
දිවා ආහාරය
කැකුළු සහල් සහ සුදු සහල් මිශ්‍ර බතක්‌ පිළියෙල කර ගන්න.
ඊට ස්‌වභාවිකව වර්ධනය වී ඵල හටගත් ඇඹරැල්ලා ගසකින් ගෙඩි ලබාගෙන ඇඹරැල්ලා කළුපොල් මාළුවක්‌ සාදා ගන්න. වට්‌ටක්‌කා මල්, එළබටු, පුහුල්මල්, බෝංචි, ඉන්නල, පරිප්පු සමව ගෙන වෑංජනයක්‌ සාදා ගන්න. එම වෑංජනය තල තෙලින් තෙම්පරාදු කර ගැනීම ගුණදායකය.
මෙම ආහාර බඩ දැවිල්ල, මුත්‍රා ආසාදන, ගුද මාර්ගයේ අපහසුතා, ආහාර අජීර්ණය සමනය කරනු ලබයි.
සවසට පලතුරු පානයක්‌
සෙනසුරාදා සවසට හොඳින් ඉදුණු අනෝදා ගෙඩියක ඇට ඉවත්කර ලබාගත් මද, ඉදුණු කාමරංකා ගෙඩියක්‌, ඉදුනු ලාවුලු ගෙඩියක මද, ඉදුණු හීන් නාරං යුෂ මිශ්‍ර පලතුරු බීමක්‌ සාදාගෙන පානය ගුණදායකය.
මෙම පලතුරු යුෂ මගින් කටහඬ මිහිරි වේ. ස්‌වර බේධ නැති කරයි.
රාත්‍රී ආහාරය
සෙනසුරාදා රාත්‍රි ආහාරයට හොඳින් පැසුණු දෙල් ගෙඩියක්‌, පොලොස්‌ ගෙඩියක්‌ සහ බතල අලයක්‌ තම්බාගෙන පිටිකර සාදාගත් මිශ්‍රණයට පොල් ද එක්‌කර රොටියක්‌ සාදා ගත හැකිය.
මෙම රොටිය ආහාරයට ගැනීම සඳහා හීන් බෝවිටියා කොළ, අමු ගම්මිරිස්‌, කරපිංචා දලු, සියඹලා දලු, අමු මිරිස්‌ කරල් කිහිපයක්‌ ගෙන පොල් දමා අඹරාගත් සම්බෝලයකට දෙහි සහ ලුණු මිශ්‍රකර රසවත් කර ගත හැකිය.

නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ
මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
අංක 118/2 අඟුලාන දුම්රිය පොළ පාර, උද්‍යාන මාවත, අඟුලාන, මොරටුව. දුරකථන - 0112632225

සිරුරේ වැඩි බර අඩුකරගෙන දීර්ඝායු ලබා ගන්නා හැටි

ඔබ දිනකට කොපමණ වේලාවක්‌ ශාරීරික ව්‍යායාම වල යෙදෙනවාද? මෙම පැනය හමුවේ බොහෝ දෙනා නිරුත්තර වෙති. අනේ අපිට ව්‍යායාමවල යෙදෙන්න වේලාවක්‌ නැහැ.. සමහරු ඊට පිළිතුරු ලෙස පවසති.
එලෙස පිළිතුරු දෙන පුද්ගලයන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික තරබාරුව වැනි රෝග වලින් පීඩා විඳිමින් වෛද්‍ය සායනවල කෙතරම් කාලයක්‌ ගත කරනවාද?
වෛද්‍ය පරීක්‍ෂණ සඳහා කෙතරම් මුදලක්‌ වැය කරනවාද?
වර්තමානයේ අප බොහෝ දෙනා ගතකරන්නේ අවිවේකී දිවියකි. අලුයම 4 ත් 5 ත් අතර අවදි වී රාත්‍රි 11 ත් 12 ත් අතර වනතුරු ගෙදර දොරේ රැකියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙති. ආහාර පාන ගන්නේ වැඩ රාජකාරිවල නිරත වෙන අතරය. එසේත් නැතිනම් වාහනයේ ගමන් කරන අතර තුරය.
මෙම අවිවේකී බව නිසා වර්තමානයේ අප බොහෝ දෙනාගේ ආයු කාලය අවුරුදු 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇත.
අතීතයේදී ශ්‍රී ලාංකික කාන්තාවකගේ ආයු කාලය අවුරුදු 90 ක්‌ද පිරිමියකුගේ ආයු කාලය අවුරුදු 70 ක්‌ද පැවතුනි. නමුත් වර්තමානයේ කාන්තාවකගේ ආයු කාලය වයස අවුරුදු 68 ක්‌ සහ පිරිමියකුගේ ආයුකාලය වයස අවුරුදු 60 ක්‌ දක්‌වා අඩුවී ඇත.
මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ නිසි පෝෂණයෙන් යුත් ආහාර පාන නොගැනීම සහ නිසි ව්‍යායාම වල නොයෙදීම නිසා දියවැඩියාව, ගැස්‌ට්‍රයිටීස්‌, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු රෝග වැනි රෝග වලට ගොදුරුවීමෙන් අකාලයේ මරණයට පත්වීමය.
දීර්ඝායු ලැබීමට
වයස අවුරුදු 70 - 80 පමණ දක්‌වා නිරෝගීව ජීවත්වීම සඳහා අප දිනපතා අඩුම වශයෙන් පැය භාගයක්‌වත් ව්‍යායාමවල යෙදිය යුතුය. ඒ සඳහා ඇවිදීම, දිවීම හෝ ව්‍යායාම උපකරණ භාවිත කළ හැකිය.
උදැසන ව්‍යායාම වල යෙදීමට පෙර කොළ කැඳ වීදුරුවක්‌ හෝ පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කළ යුතුය.
සතියේ දින හයක්‌වත් කොළ පැහැති එළවළු පලතුරු ආහාරයට ගත යුතුය.
රාත්‍රී 7.00 න් පසු ප්‍රොaටීන් අධික ආහාර වන මස්‌, මුං ඇට, කවුපි වැනි ආහාර වර්ග ගැනීම අවම කළ යුතුය.
ආහාර පාන පාලනය සහ ව්‍යායාම මගින් මාසයකට තමාගේ ශරීරයේ පවතින අධික බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 2.7 ත් 3 ත් අතර ප්‍රමාණයකින් අඩුවේනම් එය නිරෝගී ලක්‍ෂණයකි.
වර්තමානයේ බොහෝ දෙනාගේ ශරීර බර වැඩිවන්නේ ආහාරපාන නිසාම නොව හෝමෝන ගැටලු නිසාද බර වැඩිවේ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ බර අඩුවීම හෝ වැඩිවීමේදී මේ පිළිබඳවත් අවධානය යොමුකළ යුතුය. එහිදී බර වැඩිවන්නේ ආහාර පාන ගැනීමේ ගැටලුවක්‌ නිසා නොව හෝමෝන ගැටලුවක්‌ නිසාය.
එම හෝමෝන ගැටලු සඳහා ප්‍රතිකාර ලබාගත යුතුය.
බර අඩු කරගැනීම සඳහා රාත්‍රියට පලතුරු ආහාරයට ගැනීම පමණක්‌ නොකළ යුතුය. ඉන් ගැස්‌ට්‍රයිටීස්‌ සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලට ගොදුරු විය හැකිය.
ඔබගේ ශරීරයේ උසට ගැලපෙන බර ප්‍රමාණය හඳුනාගැනීම ශරීරයේ උස සෙන්ටිමීටර් වලින් මැන ඉන් 100 න් අඩුකිරීමෙන් දැනගත හැකිය.
දිනකට පානය කළ යුතු ජලය කෝප්ප ප්‍රමාණය ඔබගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එය 7 න් බෙදූවිට ලැබෙන අගය වේ. එම අගයට සමාන මිලිලීටර් 250 ක්‌ ජලය කෝප්ප ප්‍රමාණයක්‌ උදේ දහවල් සහ රාත්‍රිය යන දවස පුරා පානය කිරීමෙන් සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය ලබාගෙන තිබහ ඇතිවීම වලක්‌වාගත හැකියි.
මෙහිදී ඔබ දිනකට පානය කරන තේ, කෝපි, සිසිල් බීම වැනි පානයන් ජලය වෙනුවට ආදේශ කළ නොහැකිය. එවැනි පාන වර්ග ගැනීමෙන් දිනකට ශරීරයට අවශ්‍ය පිරිසිදු ජලය කෝප්ප ගණනද වැඩිවේ. ඔබ වැඩිවේලාවක්‌ හිටගෙන සිටින්නේ නම් විනාඩි 2-3 ත් අතර කාලයකදී දණහිස්‌ දෙක තත්ත්පර කිහිපයක්‌ නවමින් හිටගෙන සිටින ඉරියව්ව වෙනස්‌ කළ යුතුය. එවිට ස්‌නායු පද්ධතියට මතුවන අපහසුතා මහහරවා ගත හැකිය. එවිට හිටගෙන සිටීම නිසා මතුවන කොන්දේ වේදනාවද මගහරවා ගත හැකිය.
එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ
චාලක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග විජයරත්න