Monday, November 29, 2010

සැමියා කෝප වූවොත්.. බිරිය බිහිරි වූවාසේ සිටින්න

අඹුසැමි සබඳතාවේ දී දෙපළ ම වඩාත් ම සැලකිලිමත් විය යුතු කාරණයක්‌ වේ. ඒ දෙදෙනා අතර, කෙදිනකවත් දබරයක්‌ ඇති නොවීමට වගබලා ගැනීමය. සැබෑ ලෙසින් ම බැලුවොත් එය විවාහය සම්බන්ධයෙන් දෙදෙනාගේ ම ප්‍රබල වගකීමකි. මක්‌නිසාද යත් අඹුසැමි දෙපළ අතර, ගැටුමක්‌ දබරයක්‌ ඇතිවීමෙන් එය පුරුද්දකට යැම නිසාය. දෙදෙනා රණ්‌ඩු කරගතහොත්, එයින් පසුව එය සාමාන්‍ය දෙයක්‌ බවට පත්වේ.

වර්තමානයේ ඇතැම් යුවතියන්

වර්තමානයේ ජීවත්වන ඇතැම් යුවතියන්, විවාහයේ තිබිය යුතු එම පොරොන්දුව ගැන එතරම් සැලකිලිමත් නො වීමෙන්, දෙදෙනා අතර ක්‍රමයෙන් දුරස්‌ බවක්‌ ඇති කර ගනී. එයට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ, අද කාලයේ බොහෝ යුවතියන් විවාහ දිවියට ඇතුලත් වන්නේ, රැකියාවක යෙදෙන ස්‌වාධීන ගැහැනුන් ලෙසිනි. එහෙයින් ඇය සිතන්නේ, පිරිමින්ගේ අසාධාරණකම්වලට යටත් විය නොහැකි බවකි. නමුත් සෑම පිරිමියෙකු ම පාහේ ප්‍රිය කරන්නේ, විවාහය තුළ තම අණසක පවත්වාගෙන යැමටය. එහෙයින්, ඔහු කියන කරන දේ හරි හෝ වැරදි හෝ වේවා, එය සනාථකිරීමේ වෑයමක යෙදේ. තනිමතයට කටයුතු කිරීමට පෙළඹේ. බිරිඳකගේ කෝණයෙන් බලද්දී, එය වරදක්‌ බව සැබෑය. නමුත් එම තත්ත්වය නිවැරදි හා වෙනස්‌ කර ගැනීමට ඇය ට සිදුවන්නේ, එය ට එරෙහිව දබරයක්‌ කර ගැනීමෙන් නොව, බුද්ධිමත් ව ඉවසීමෙන් කටයුතු කිරීමෙනි.

අද ගැහැනිය ස්‌වාධීන හෙයින්, ඇය සැමවිටම උත්සාහ කරන්නේ, තම සැමියාගේ යම් යම් ක්‍රියාවන්ට එරෙහි ව දබර කර ගැනීමට ය. නමුත්, යම් බිරිඳක්‌ තම සැමියා සමඟ දබරයක්‌ ඇති කර ගැනීමෙන් පසුව හැඟෙන්නේ, තම ජීවිතය තුළ ප්‍රබල හිස්‌බවක්‌ තිබෙන බවකි. එය එක්‌තරා අන්දමකින් පරාජිත හැඟීමකි.

"එයා වැඩ කරන්නේ එයාට ඕන විදියටනේ. මං ඕව ට කතාකරන්න යන්නේ නෑ. කවදා හරි තනිමතය ට වැඩ කරලා මට්‌ටුවෙයිනේ."

අඹුසැමියන් අතර මත ගැටුම් ඇති වූ විට දී, බොහෝ බිරියන් සිතන්නේ, එලෙසිනි. නමුත්, එසේ සිතීමෙන් අදහස්‌ කෙරෙන්නේ, දෙදෙනා අතර යම් දුරස්‌වීමක්‌ හටගෙන ඇති බවකි. අඹුසැමි දෙපළ අතර මත ගැටුමක්‌ දබරයක්‌ ඇති නො විය යුතු සේම, එලෙසින් දෙදෙනා අතර දුරස්‌වීමක්‌ තිබීම ද තේරුමක්‌ නොවේ.

කතාබහ කර ගැනීමෙන්

හිතුවක්‌කාරකමින් හෝ බිරිඳට බොහෝ දේ නො පවසමින් සැමියා කටයුතු කිරිමෙන් සිදුවන්නේ, ඇය ට විවාහය හුදකලාවීමක්‌ සේ හැඟීමය. සැමියා තමා සමඟ දබර කර ගැනීමක ට නිබඳව ම පෙළඹෙද්දී හෝ තමාගේ මතය ම ක්‍රියාවට නැගීමට උත්සාහ කරද්දී, බිරිඳක්‌ එය දකින්නේ, සැමියා තමාට ආදරය නො කරන බවකි. ඔහුට තමාව නො වටිනා බවකි. එහි ප්‍රතිඵලය වන්නේ, එම විවාහය දෙදෙනාට ම නො දැනීම යම් දුරස්‌වීමකට පත්වීමය.

එහෙයින්, එම තත්ත්වය ට විවාහයක්‌ පත්කර ගැනීමේ අරුතක්‌ නො වන අතර, දබරයක්‌ ඇතිවීමට බලපාන කරුණු, දෙදෙනා විසින් ම අධ්‍යයනය කළ යුතුය. දෙදෙනා අතර යම් ප්‍රබල දබරයක්‌ ඇති වුවහොත්, දෙදෙනා විසින් ම , එය හටගත්තේ කෙසේ ද යන්න ගැන ගැඹුරින් සිතා බැලීම වටී. ඒ සමඟ ම එම තත්ත්වය වලක්‌වා ගැනීමට කළ යුතු ව තිබූ දෙය සිතා බැලිය යුතුවේ.

බොහෝ අවස්‌ථාවල දී

අඹුසැමි දෙපළක්‌ අතර දබරයක්‌ හටගන්නේ, සැමියා යම් දොසක්‌ කී විට දී, බිරිඳ එයට ප්‍රති පිළිතුරු දීමට යැම හෝ එකින් එක කීමට යැම නිසාය. නමුත්, සෑම බිරිඳක ම වටහාගත යුතු දේ වන්නේ, පිරිමින් එය අනුමත නො කරන බවකි. ඔහු එය දකින්නේ, තමාගේ පිරිමිකමට හානියක්‌ සේ ය. එහෙයින්, බිරිඳගේ එම හැසිරීම ට ඉඩ නොදිය යුතුය යන්නය. එම හැඟීම මත, ඔහු තම බිරිඳ ව පරාජය ට පත්කිරීමට උත්සාහ කරන අතර, ඒ සඳහා විවිධ උපක්‍රම ද භාවිත කරයි.

වඩාත් කදිම දේ

දබරකර ගැනීමකින් තොරව පවුල්කෑමට නම් ඔබ කළ යුත්තේ, සැමියා කෝපයට පත් වූ විට බිරිඳ ලෙසින් ඔබ නිහඬවීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමය. මන්ද, අඹුසැමි දෙපළ ම එකවර කෝපයට පත්වීම වරදකි. එයින් සිදුවන්නේ, අනවශ්‍ය දබරයක්‌ ඇතිවීමය. එමෙන් ම , එය ප්‍රබල සිත් වේදනාවක්‌ සේම, දුරස්‌වීමකට ද හේතුවකි. සැමවිට ම පවුලේ අනවශ්‍ය මතභේද වලක්‌වා ගැනීමේ වගකීම, බිරිඳකට පැවරේ. එහෙයින්, සැමියා යම් දෙයකට කෝපයට පත්වීම හෝ ඔබේ වරදක්‌ පෙන්නුම් කරද්දී, නිහඬවීමෙන්, ඔබ එම වරද පිළිගත් බවක්‌ ඔහුට ඒත්තු ගැන්වේ. සැබවින් ම එය පරාජයවීමක්‌ නොව, දිනීමකි. මන්ද එසේ කිරීමෙන් ඔබේ පවුලේ සමගිය හා සාමය

රැකේ. එය සෑම බිරිඳක අතින් ම සිදුවිය යුත්තකි. සාමාන්‍යයෙන් පිරිමින් ඉක්‌මන් කෝපකාරයන්වීමට හැකි හෙයින්, බිරිඳක්‌ සැමවිටම ක්‍රියාකළ යුත්තේ, සැමියාගේ කෝපය නිවන්නිය සේ ය. එසේ නොමැති ව ඇය ද ඔහුට එරෙහි ව, කැත්තට පොල්ල වීමට ගියහොත්, එය පවුල් විනාශවීමකි.

නමුත්, ඔබ නොකළ වරදකට බැනුම් ඇසිය යුතු ද නොවේ. ඒ සඳහා කළ යුත්තේ, ඔහු සන්සුන්ව සිටියදී, ඔහුගේ හැසිරීම් රටාවේ වැරදි බව හා ඔහු තමා ඉදිරියේ හැසිරිය යුතු නිවැරදි ක්‍රමය වටහාදිමය. එවිට ඔහු සියුම්ව ලැඡ්ජාවට පත්වේ. තමාගේ වරද ඔබ ඉදිරියේ නොපිළිගත්ත ද , රහසේ ම වරද ඒත්තු ගනී. එය සැමවිටම ඔබේ වාසියට හේතුවේ.

එමෙන්ම, ඔහු සන්සුන්ව සිටියදී, ඔහුගේ හැසීරිම සම්බන්ධයෙන් ඔබ ප්‍රිය කරන තාලය පිළිබඳ ව, ඔහු ව දැනුවත්කිරීම වටී. එවිට ඔහු ඔබේ එම අදහස්‌ තම සිතට ගනී. ඔහුගේ සිතේ ඔබ කෙරෙහි වූ ආදරය ද එයින් වැඩිවේ. එය අඹුසැමි සතුට වර්ධනය කරන්නකි.

එසේ නොමැතිව, සැමියා කෝපවන තරමට ම, බිරිඳක ලෙසින් ඔබ ද කෝපයට පත් වූවොත්, එය සහමුළින්ම විවාහය අසුන්දරත්වය කරා ගමන් කරවීමකි.


ප්‍රදීප් කුමාර බාලසූරිය

Sunday, November 28, 2010

ගැබිනි මවට දියවැඩියාව හැදුණොත්..

පසුගිය සති කීපය තුළ දියවැඩියාව සම්බන්ධව බොහෝ වැඩසටහන් පැවැත්විය. මීට හේතුව දියවැඩියා දිනය පසුගිය දිනෙක යෙදී තිබීමයි. දියවැඩියාව වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ සැළකෙන රුධිරයේ සීනි වැඩි වීම ගර්භනී සමයේදී ද සිදු විය හැක.

රුධිරගත සීනි ප්‍රමාණය පාලනය වීම ප්‍රධාන වශයෙන් ම සිදුවන්නේ ඉන්සියුලින් නමැති හෝමෝන වර්ගයෙහි ක්‍රියාකාරිත්වය මගිනි. ගර්භණී සමයේදී මෙම හෝමෝනයේ ක්‍රියාකාරිත්වය සහ ස්‍රාවය වන ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයේදී ට වඩා බොහෝ ලෙස වෙනස්‌ වේ. එම නිසා දියෑවැඩියාව ගර්භණී නොවන තත්ත්වයේදීට වඩා ගර්භණී සමයේදී බොහෝ ගැටලු ඇතිකරයි. මවගේ සිරුරේ සියලුම අවයවයන්ට මෙම තත්ත්වයේ බලපෑම ඇති වේ. විශේෂයෙන්ම පෙර සිටම දියවැඩියාව ඇති කාන්තාවක්‌ ගැබ් ගැනීමෙන් පසු ඇගේ ශරීරයේ ඇති විය හැකි දියවැඩියාව හා සම්බන්ධ සංකූලතා වැඩිවිය හැක. එනම් ඇස්‌ වල ඇති වන සංකූලතා, වකුගඩු ආශ්‍රිත ගැටලු , හෘද රෝග, ස්‌නායු රෝග හා ඒ ආශ්‍රිත ගැටලු, සංකීර්ණ විය හැක. එබැවින් දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන කාන්තාවක්‌ ගැබ් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඇගේ දියවැඩියා තත්ත්වය මනා ලෙස පාලනය කරගත යුතුයි. මීට අමතරව ඇස්‌, වකුගඩු, ස්‌නායු, හෘදය යන අංග ගැන විශේෂයෙන් සොයා බලා ගැටලු ඇත්නම් ඒවා පාලනය කරගත යුතුයි. ගර්භණී සමය තුළදී ද මේවා අදාළ පරික්‌ෂණ කිරීමෙන් ගැටලු ඇති වන්නේ දැයි විමසිලිමත් විය යුතුය.

දියවැඩියාව ආශ්‍රිත සිරුරේ සිදුවන මූලිකම වෙනසක්‌ වන්නේ රුධිර නාල වල සිදුවන හානීන්ය. ගර්භණී තත්ත්වයත් සමඟ ළදරු කළලයට පෝෂණය සැපයෙන වැදෑමහ වර්ධනය වීම සිදු වේ. මෙම වැදෑමහ තුළ නිපදවෙන රුධිර නාල වල පවා මෙම වෙනස්‌ වීම් සිදු විය හැක. එලෙස සිදු වන විට වැදෑමහ නිරෝගි ලෙස වර්ධනය වන්නේ නැත. මේ සමඟ තවත් බොහෝ ගැටලු ඇතිවිය හැක. ගර්භණී සමයේදී ඇතිවන අධික රුධිර පීඩනය දියවැඩියාවෙන් පෙළෙන මව්වරුන්ගේ සංකූලතාවයක්‌ ලෙස දැකිය හැක.

තවද ළදරු කළලයට පෝෂණය අඩු වීමෙන් එහි වර්ධනය අඩු විය හැක. අනවශ්‍ය ලෙස වැඩි රුධිර සීනි ප්‍රමාණයක්‌ ඇතුළු වීමෙන් කළලය අනවශ්‍ය ලෙස වර්ධනය වීමෙන් ප්‍රමාණයට වඩා විශාල, වැඩි උපත් බරක්‌ සහිත දරුවන් බිහිවිය හැක. දියවැඩියාව සහිත මවකට උපත් අඩුපාඩු සහිත දරුවකු බිහිවීමේ ප්‍රවණතාවය නිරෝගී මවකට එවන් දරුවකු බිහිවීමේ ප්‍රවණතාවයට වඩා වැඩිය. තවද, කළලයක්‌ අඩු මාස ගණනකදී වර්ධනය ඇණ හිටීම, ගර්භාෂය තුළදීම සිදුවන හදිසි කළල මරණ, උපතේදීම ජීවී තත්ත්වය නැති වී යාම වැනි ඉතා ගණගාටුදායක තත්ත්වයන් මෙම රෝගය ආශ්‍රිතව දැකිය හැක. ගර්භණී සමයේදී මුල සිට ම ලේ, මුත්‍රා පරික්‌ෂා කිරීමෙන් මෙම තත්ත්වය හඳුනාගත හැක. මුල් කාලයේ සිට ම රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කළ හැකි නමුත් ගර්භණී අවධියේ දී මෙය අපහසු විය හැක. එවැනි අවස්‌ථා වලදී ඉන්සියුලින් හෝමෝනය එන්නත් මාර්ගයෙන් ලබාදීම සිදුකෙරේ.

බොහෝ විට ගර්භණී සමයේ දී මතුවන දියවැඩියා තත්ත්වය දරු ප්‍රසූතියත් සමග නැති වී යයි. මෙය රුධිරය පරීක්‌ෂා කිරීමෙන් දැන ගත හැකිය. මෙවැනි කාන්තාවකට පසු කලකදී දියවැඩියා තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති බැවින් ඇය ඒ සම්බන්ධව වඩාත් කල්පනාකාරී විය යුතුය. ගර්භණී සමයේ දී ශරීරයේ බොහෝ හෝමෝනවල වෙනස්‌කම් ඇතිවන බැවින් දියවැඩියාව මතුවීමේ ඉඩ කඩ වැඩිය. එබැවින් ගැබිණි මවක්‌ ගර්භණී සමයේ දී සීනි බහුල ආහාර වර්ග අඩුවෙන් ගැනීම යහපත්ය. අද සමාජයේ අනුභව කරන ආහාර අතුරින් ශරීයේ රුධිරගත සීනි ප්‍රමාණය ක්‌ෂණිකව වැඩි කරන ආහාර (පැණි රස කැවිලි, ලොසින්ජර..) වඩා හානිකර සහ අඩු පෝෂණ ගුණයෙන් යුක්‌ත ආහාර ලෙස හැඳින්විය හැක. මෙවැනි ආහාර ගැනීම අඩු කිරීම ගර්භණී මව්වරුන්ට පමණක්‌ නොව අන් අයගේ සෞඛ්‍යයටද හිතකර වේ.

කාන්තා රෝග පිළිබඳ ගැටලූ කාන්තා සෞඛ්‍ය සායනයට යොමු කරන්න.

කාන්තා සෞඛ්‍ය සායනය තුළින් හැමදාමත් කාන්තා රෝග පිළිබඳව අපි ඔබ දැනුවත් කළෙමු. කාන්තා රෝග සම්බන්ධයෙන් දැනුවත් වූ ඔබටත් ඒ පිළිබඳ ගැටලු රාශියක්‌ තිබෙන්නට පුළුවන්.

කාන්තා රෝග පිළිබඳ ඔබේ ගැටලුව කාන්තා සෞඛ්‍ය සායනය වෙත යොමුකරන්න. ඔබට සහනයක්‌ ලබා ගැනීමට කාන්තා සෞඛ්‍ය සායනය තුළින් හැකිවනු ඇත.

වෛද්‍ය
චම්පා නෙල්සන්

මෙන්න අපේ සිංහල කෑම

අප දේශීය ආහාර පිළිබඳ විමසිලිමත් වූ ප්‍රමාණය අනුව අපට අනන්‍ය වූ ආහාර ද්‍රව්‍ය තිබී ඇති බවත්, දැනටමත් රටේ සමහර ප්‍රදේශවල එම ආහාර පිළියෙල කරන බවත් අපට දැකගත හැකි විය. එසේම සමහර පුද්ගලයන් එම ආහාර ද්‍රව්‍යයන් සුරැකීම සඳහා කටයුතු කරන අයුරු ද අපට දැකගත හැකි විය. මෙහිදී අප පළමුවෙන්ම සඳහන් කරන්නේ එම කටයුත්තේ නිරත වී සිටින බදුල්ල ජෛව විවිධත්ව මධ්‍යස්‌ථානය පිළිබඳවය. එම සංවිධානයේ ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ එස්‌. අත්තනායක මහතාය.

අත්තනායක මහතා අප හා සඳහන් කළ ආකාරයට කුරහන් තලප පමණක්‌ නොව කුරක්‌කන්වලින්ම නිෂ්පාදනය කරන දෝසි මෙන්ම කොණ්‌ඩ කැවුම්, කී රොටි, පුස්‌නාම්බු, උදුවැල්, කලුපොල් මාලුව, බිලිං බැඳුම, මිශ්‍ර එළවළු ආනම, ඌවේ හත්මාළුව, තැම්බුම් හොද්ද රෑ කායම් හොද්ද, ඔඩිතාලම් ලුණුමිරිස, කොල්ලු ආනම ඇතුළු ද්‍රව්‍යයන්ට අපට හිමිකම් කිව හැක.

ඒ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කිරීමට මත්තෙන් එම ආහාර ද්‍රව්‍යයන් පිළියෙල කරගන්නා ආකාරය සලකා බලමු.

කොණ්‌ඩ කැවම්

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි 500 ට

සීනි 100 ට

පැණි බෝතල් 1/2

තම්බා ගන්නා ලද පාන් පිටි ස්‌වල්පයක්‌

සාදා ගන්නා ආකාරය

හාල්පිටි, පාන් පිටි, සීනි, පැණි, ලුණු ස්‌වල්පයක්‌ එක්‌ කොට තරමක්‌ ඝන වන සේ සකසා ගන්න. රත් කරන ලද තෙල්වලට පිටි ස්‌වල්පයක්‌ බැගින් දමා කැටවී ගෙන එන විට එහි මැද ඉරටුවකින් සිදුරු කර මැද පිටි ටික මුදුනට කොණ්‌ඩයක්‌ සේ එන්නට සලස්‌වන්න. ඉරටුව කරකවමින් තෙල් ඉසින විට කොණ්‌ඩය මුදුනට එනු ඇත.

කී රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් සේරු 1 1/2

පොල් ගෙඩි 2

සීනි 500 ට

කරදමුංගු කුරුඳු පොතු

වැනිලා ස්‌වල්පයක්‌

ආප්ප සෝඩා තේ හැඳි 1

ලුණු

සාදා ගන්නා ආකාරය

පළමුව හාල් සේරුවක පිටි ගෙන ආප්ප සෝඩා හා ලුණු දමා පිටි (ආප්පවලට මෙන්) අනාගන්න. මෙය පැය 06 ක්‌ පමණ වේලාවක්‌ පිපෙන්නට තබා පසුව පොල්ගෙඩියක කිරි දමා පදමට අනාගන්න. ඉන් පසු තාච්චුව ලිප තබා ආප්ප සාදාගන්න.

කිරි පැමිණි මිශ්‍රණය

පොල්ගෙඩියක කිරි මිරිකා එයට හාල් පිටි, සීනි, ලුණු, කරදමුංගු, කුරුඳු, වැනිලා ආදිය දමා උකු මිශ්‍රණයක්‌ හදන්න. එයට කලින් සාදා ගත් ආප්ප දමා මඳ වේලාවක්‌ තබා ආහාරයට ගන්න.

පුස්‌නාම්බු

අවශ්‍ය ද්‍රව්‍ය -

ඉරිඟු පිටි 250

හාල් පිටි 100 ට

කිතුල් පැණි

දවසක්‌ පරණ පොල් වතුර ටිකක්‌

ඉදුණු ආනමාලු කෙසෙල්ගෙඩියක්‌

ලුණු

සාදා ගන්නා ආකාරය -

අඹරා ගත් ඉරිඟු පිටි හා හාල් පිටිවලට පැණි අවශ්‍ය පමණ ද, පොල් වතුර මේස හැඳි 2 ක්‌ පමණ ද හොඳින් පොඩි කරගත් කෙසෙල් ද දමා මිශ්‍ර කර ලුණු ස්‌වල්පයක්‌ දමන්න. ආප්ප පදමට මිශ්‍රණය සාදා පැය 06 ක්‌ 08 ක්‌ පමණ වසා තබන්න. (රාත්‍රියේ සෑදු මිශ්‍රණය උදේ පාවිච්චි කළ හැක) උදේ කඩපිම්ම බැඳ වළඳක්‌ ලිප තබා මිශ්‍රණයෙන් කෝප්ප 1/2 ක්‌ පමණ තම්බා ගන්න. (කඩපිම්මට කෙසෙල් කොළයක්‌ අතුරන්න) හොදින් තැම්බී මුදුන පුපුරන විට බිමට ගන්න. මෙසේ එකින් එක තම්බා ගන්න.

උඳු වැල්

අවශ්‍ය ද්‍රව්‍ය -

උඳු 500 ට

හාල්පිටි 250

ලුණු සෑහෙන පමණ

පොල් කිරි ස්‌වල්පයක්‌

ආනමාලු කෙසෙල්ගෙඩියක්‌

කිතුල් පැණි

සාදා ගන්නා ආකාරය

උඳු පැය කිහිපයක්‌ පෙගෙන්නට හරින්න. ඉන්පසු හොඳින් අඹරා ගත් උඳුවලට හාල්පිටි, ලුණු, පොල්කිරි හා ආනමාලුගෙඩිය ද එකතු කර ආප්පවලට යොදා ගන්න. පදමට සාදා ගන්න. ඝන රෙදි කැබැල්ලක බොත්තම් කාසයක්‌ මසා ඒ මතට සාදා ගත් පිටි මිශ්‍රණය ටික ටික දමා රත් වූ තෙලට රවුමට වත් කරන්න. රන්වන් පැහැය වන තෙක්‌ බැඳ ගන්න. උණු කර නිවා ගත් පැණි බඳුනට දමා පැණි උරා ගත් පසු පිටතට කෑමට ගන්න.

කලූපොල් මාලූව

අවශ්‍ය ද්‍රව්‍ය -

තම්බාගත් කොස්‌ ඇට කෝප්ප 1 ක්‌

බැදපු මිරිස්‌ කුඩු

බැදපු තුනපහ කුඩු

පොල් කිරි කෝප්ප 2 ක්‌ පමණ

තක්‌කාලි

කහ

සුදු ලූනු

රතු ලූනු

අමු මිරිස්‌, කරපිංචා, රම්පේ

සාදාගන්නා ආකාරය

කොස්‌ ඇට සෝදා හොඳට පොඩිවන සේ තම්බාගන්න. (අලුත් කොස්‌ ඇට) ඉන් පසු බැදපු මිරිස්‌ කුඩු, බැදපු තුනපහ කුඩු, කහ ආදිය මිශ්‍ර කරන්න. එයට ලූනු, අමු මිරිස්‌, කරපිංචා, තක්‌කාලි, කුරුඳු ආදිය එක්‌ කරන්න. ඉන් පසු තෙල් රත්වන්නට හැර එයට රම්පේ, අබ ආදිය දමා රත්වූ පසු මිශ්‍රණය ද දමන්න. තැම්බීගෙන එන විට පොල් හා හාල් බැඳ හොඳට අඹරා එය ද එක්‌ කරන්න. ඉන් පසු පොල් කිරි කෝප්ප 2 ක්‌ එක්‌කර හොඳින් උතුරා ලිපෙන් බා කෑමට ගන්න.

බිලිං බැඳුම

අවශ්‍ය ද්‍රව්‍ය -

තරමක්‌ පැසුණු බිලිං ගෙඩි 25

රතු ලූනු 150 ට

උම්බකඩ කුඩු මේස හැඳි 2

බැදපු මිරිස්‌ මේස හැඳි 2

බැඳපු තුනපහ සුවඳ කුඩු මේස හැඳි 1

කරපිංචා

රම්පෙ

පොල්තෙල් ස්‌වල්පයක්‌

ලුණු අවශ්‍ය තරමට

සුදු ලූනු බික්‌ 2 ක්‌

සාදන ක්‍රමය -

බිලිං සෝදා සිහින්ව දිග අතට සහ හරහට තීරු මෙන් සිහින්ව ලියාගන්න. ලුණු දමා මිරිකා ගන්න. නැවත වතුරෙන් සෝදා ගන්න. දිය හොඳින් මිරිකා හරින්න. තාච්චියකට තෙල් ස්‌වල්පයක්‌ දමා ලිප තබන්න. රත්වන විට රම්පෙ කරපිංචා අඹරන ලද සුදු ලූනු එකතු කරන්න. සුවඳ දැනෙන විට උම්බලකඩ කුඩු ද එක්‌ කරන්න. බැඳපු මිරිස්‌ හා තුනපහ ද කවලම් කරන ලද බිලිං කැබලි ද එයට දමා මිශ්‍ර කරගන්න. අවශ්‍ය පදමට ලුණු ද දමන්න. දියර ගතිය සිඳී ගිය පසු ලිපෙන් ඉවත් කරගන්න.

මිශ්‍ර එළවළු ආනම

අවශ්‍ය ද්‍රව්‍ය -

මෑ කරල්, මුං ඇට, ගැට කරවිල

කොස්‌ඇට, වට්‌ටක්‌කා, බණ්‌ඩක්‌කා

ලීමා කොළ

පොල් තෙල්

මිරිස්‌, තුන පහ, කහ, රතුලූනු, සුදු ලූනු

රම්පේ, කරපිංචා, තක්‌කාලි

උම්බලකඩ

ලුණු

සාදා ගන්නා ආකාරය -

එළවළු වර්ග සියල්ල සෝදා කපා හට්‌ටියකට දමා සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කර වතුර දමා හොඳින් තම්බන්න. එයට කුරක්‌කන් පිටි මේස හැන්දක්‌ දමා උයාගන්න. පසුව තෙම්පරාදු කර ගන්න.

ඌවේ හත්මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය -

අල වර්ග - කොහාල, බතල

ගෙඩි වර්ග - වට්‌ටක්‌කා, අළු කෙසෙල්

මල් වර්ග - කතුරුමුරුංගා, වට්‌ටක්‌කා

කොළ වර්ග - මුකුණුවැන්න, සාරණ, කූර, තම්පලා

කරල් වර්ග - දඹල, මෑ, බෝංචි

ඇට වර්ග - ලීමෑ, කොස්‌ ඇට

දළු වර්ග - මෑ දලු, වට්‌ටක්‌කා දලු, චච් දලු

තුනපහ, ලුණු, රතුලූනු, අමුමිරිස්‌, කරපිංචා, පොල් කිරි

සාදා ගන්නා ආකාරය

කොස්‌ ඇට තලා පොතු ඉවත් කර ගන්න. අනෙකුත් ද්‍රව්‍ය කුඩාවට කපා ගන්න. තැම්බීමට වෙලා ගන්නා කොස්‌ ඇට පළමුව වතුර ස්‌වල්පයක්‌ දමා ලිප තබා ගන්න. (දිය කිරි වුවද භාවිත කළ හැක) ඉන් පසු ඉතිරි සියල්ලම ද තුනපහ, ලුණු, රතු ලූනු, අමුමිරිස්‌ කපා එය ද කරපිංචා ද එකතු කර ගන්න. මේ සියල්ලම තැම්බීම සඳහා දියකිරි හෝ වතුර ස්‌වල්පයක්‌ යෙදිය හැක. ඉන් පසු මිටි කිරි එකතු කර මඳ ගින්නේ ලිප තබා ඉස්‌ම සිඳී යන්නේ නම් තෙත ගතිය ඇතිවන සේ උයාගන්න. ලිපෙන් බා කුළු බඩු (රම්පෙ, කරපිංචා, කුරුඳු, එනසාල්, කරාබු නැටි කබලේ බැද වංගෙඩියේ කොටා සකසා ගත් මිශ්‍රණය) ස්‌වල්පයක්‌ හත් මාළුවට උඩින් ඉස ගන්න පෝෂණ ගුණය සලකා තෙම්පරාදු නොකර සිටීම වඩා හොඳයි.

තැම්බුම් හොද්ද රෑ කායම් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය -

වියළි මිරිස්‌ කරල් 2

ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌

සුදුලූනු කරපිංචා

සූදුරු කොත්තමල්ලි ස්‌වල්පයක්‌

උම්බලකඩ රතු ලූනු

ගොරකා බික්‌ 2 ක්‌ 3 ක්‌

ලුණු

සාදා ගන්නා ආකාරය

මිරිස්‌, ගම්මිරිස්‌, සුදුලූනු, කරපිංචා, සූදුරු, කොත්තමල්ලි සියල්ල මිරිස්‌ ගලේ අඹරා රතු ලූනු, ලුණු, උම්බලකඩ හා ගොරකා දමා තම්බා ගන්න.

ඔඩිතාලම් ලූණු මිරිස

අවශ්‍ය ද්‍රව්‍ය -

ඔඩිතාලම් කොළ

මිරිස්‌ කරල් කිහිපයක්‌

ගම්මිරිස්‌ ඇට

ලුණු

දෙහි

සාදාගන්නා ආකාරය -

ඉහත සඳහන් ද්‍රව්‍ය මිරිස්‌ ගලේ හොඳින් අඹරා දෙහි ඇඹුල් මිශ්‍ර කරන්න

කොල්ලු ආනම

අවශ්‍ය ද්‍රව්‍ය -

බැදපු කුඩු කරගත් කොල්ලු 100 ට

පොල් කිරි කෝප්ප 2

ලුණු මිරිස්‌, තුනපහ, කහ අවශ්‍ය පමණ

කුරුඳු පොතු, රම්පෙ කරපිංචා

සුදුලූනු, රතුලූනු, තක්‌කාලි

තෙල් ස්‌වල්පයක්‌

සාදා ගන්නා ආකාරය -

කොල්ලු තුනපහ, මිරිස්‌, කහ අවශ්‍ය ප්‍රමාණයට හට්‌ටියකට දමන්න. එයටම කපාගත් කුරුඳු පොතු, රම්පේ, කරපිංචා, සුදුලූනු, රතු ලූනු, තක්‌කාලි දමා පොල්කිරි ද මිශ්‍ර කර මඳ ගින්නේ උයන්න. හොඳින් තැම්බුණු පසු තෙම්පරාදු කර ගන්න.

කුරක්‌කන් තලප

අවශ්‍ය ද්‍රව්‍ය -

කුරක්‌කන් පිටි 250 ට

ලුණු ස්‌වල්පයක්‌

අවශ්‍ය පමණ වතුර

සාදා ගන්නා ආකාරය

මැටි හට්‌ටියකට වතුර ලිප තබා උතුර වන්න. එම වතුරවලින් කොටසක්‌ ඉවත් කර ඉතිරි වතුරවලට කුරක්‌කන් පිටි ටික දමා හැඳි ගාන්න. එය තලපයක්‌ සේ සැදෙන විට ඉවතට ගත් වතුර ස්‌වල්පය බැගින් දමමින් හොඳින් හැඳි ගාන්න. තලප පදම එන විට ලිපෙන් ඉවත් කර කුඩා අඩි වළඳක වතුර තවරා තලපයෙන් හැන්දක්‌ දමා කරකවා බෝලයක්‌ ආකාරයට සකස්‌ කරගන්න. එසේ නොමැති නම් තැටියකට වතුර තවරා කෙසෙල් කොළයක්‌ ගෙන බෝලයක්‌ සේ සාදා ගන්න.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය

Sunday, November 21, 2010

ඔබ විදුලි ඉස්‌ත්‍රික්‌කය භාවිත කරන්නේ හරි විදිහටද?

ආහාර පාන මෙන්ම ඇඳුම් පැළඳුම්ද මිනිසාගේ මූලික අවශ්‍යතාවයකි. අප අඳින පළඳින ආකාරයෙන් අපගේ පෞරුෂත්වයද රැකේ. එහෙයින් මනාව ඇඳ පැළඳ එදිනෙදා කටයුතුවල නියෑලීමට බොහෝ දෙනෙක්‌ උනන්දු වෙයි. පාසල් ළමුන් මෙන්ම කාර්යාල සේවක සේවිකාවන්, හා එදිනෙදා ගමන් බිමන් යන්නන්ද තම ඇඳුම් පැළඳුම් ගැන වඩ වඩාත් සැලකිල්ලක්‌ දක්‌වයි.

එදිනෙදා සෝදා පිරිසිදු කරගන්නා ඇඳුම් සේදිමේදී පොඩිවෙයි. ඒ හෙයින් බොහෝ දෙනෙක්‌ ඇඳුම් අලංකාරව තබා ගැනීමට රෙදි මැදීමත් සිදු කරයි.

එහෙයින් ලක්‌ෂ ගණනක්‌ විදුලි පාරිභෝගික නිවාසවල ඉස්‌ත්‍රික්‌කය අත්‍යවශ්‍ය විදුලි භාණ්‌ඩයක්‌ වන අතර එය දින පතාම පරිහරණයද කරයි.

විදුලි ඉස්‌ත්‍රික්‌කයට වැඩි විදුලි බිල ඒකක ප්‍රමාණයක්‌ වැයවන බව දන්නේ ඉතා සුළු පිරිසකි. ඒ ගැන අවබෝධයෙන් යුක්‌තව වෙළඳ පොළෙන් විදුලි ඉස්‌ත්‍රික්‌කයක්‌ මිළදී ගැනිමේදී ඔබ ගත යුත්තේ කාර්යක්‌ෂමතාවයෙන් ඉහළ විදුලි ඉස්‌ත්‍රික්‌කයක්‌ය.

අද වනවිට වෙළඳ පොළේ විවිධ වර්ගයේ විදුලි ඉස්‌ත්‍රික්‌ක දක්‌නට හැකියි. ස්‌වයංක්‍රියව ක්‍රියාත්මක වන විදුලි ඉස්‌ත්‍රික්‌ක ඉහළ කාර්යක්‌ෂමතාවයක්‌ සහිතව ස්‌ටීම් අයන් හෙවත් ජලවාෂ්ප පිටකළ හැකි විදුලි ඉස්‌ත්‍රික්‌කය පාවිච්චි කර රෙදි මැදිමේදී වඩා ඉක්‌මනින් රෙදි මැද ගැනීමට හැකිය. මෙය විශාල වශයෙන් රෙදි මදින ස්‌ථාන වලට සුදුසු වේ.

ඔබ විදුලි ඉස්‌ත්‍රික්‌කයක්‌ මිළදී ගැනීමේ දී අවශ්‍යතාවය අනුව ඉහළ කාර්යක්‌ෂමතාවයකින් යුත් විදුලි ඉස්‌ත්‍රික්‌කයක්‌ මිළදී ගැනීමට සැලකිලිමත්වන්න.

සාමාන්‍යයෙන් විදුලි ඉස්‌ත්‍රික්‌කයක්‌a වොට්‌ 750 සිට 1000 ක්‌ අතර විදුලි පරිපථය හා සම්බන්ධ කළ විට ආරම්භයේදී රත්වීම සඳහා ලබා ගනියි. විදුලි ධාරිතාව එහි සඳහන් කර ඇති උපරිමය ලබා ගනියි. ඉස්‌ත්‍රික්‌කයකින් රත්වන විට එහි විදුලිය වැයවීම ක්‍රමයෙන් අඩුවෙයි. මේ නිසා ඔබට මැදීමට තිබෙන රෙදි එකවර මැද ගැනීම විදුලි පරිභෝජනය අතින් වඩාත් වැදගත්ය. හැමවිටම රෙදි මැදීමේදී දින කිහිපයක්‌ සඳහා එකවර රෙදි මැද ගැනීම සුදුසුය. එය ඔබේ විදුලි බල අඩුකරගැනීමට මඟක්‌ද වෙයි.

වොට්‌ 1000 ක්‌ විදුලි ඉස්‌ත්‍රික්‌කයක්‌ විනාඩි 05 ක්‌ ඇතුළතදී රෙදි මදින නිවසක ඒ සඳහා විදුලි ඒකක 6-8 අතර ප්‍රමාණයක්‌ මාසයකට විදුලි බිලට එකතුවෙයි. දින කිහිපයක්‌ රෙදි එකවර මැද ගැනීමෙන් මෙම විදුලි ඒකක ප්‍රමාණය අවම කර ගත හැකිය.

සමහර විදුලි පාරිභෝගිකයන් තෙත රෙදි මැදීමට පුරුදුව සිටියි. මේ නිසා රෙදි මැදීමට මෙන්ම ජලය ඉවත් කිරීමටද සිදුවන බැවින් අමතර විදුලියක්‌ වැයවේ. මෙය ඉතාම අකාර්යක්‌ෂම විදුලි පාරිභෝජනයකි.

එමෙන් ම රෙදි මදින විට රත්වූ ඉස්‌ත්‍රික්‌කය කිසිදු පෘෂ්ඨයක්‌ මත නොගැටෙන පරිදි කෙලින් අතට සිටුවා තැබීමෙන් තාප හානිය වළක්‌වා ගත හැකිය.

රෙදි මැදීම ආරම්භයේදී බර රෙදි මැදීම මුලින්ම කළ යුතුය. ඉස්‌ත්‍රික්‌කයේ උෂ්ණත්වය පාලනය ඉහළ අතට හරවා මුලින් බර රෙදි මැද ඉන්පසු උෂ්ණත්ව පාලකය අඩු අතට කරකවමින් සැහැල්ලු ඇඳුම් මැදීම අවසානයට කිරීම වඩා කාර්යක්‌ෂමව බව මතක තබා ගන්න.

බොහෝ විට කාර්ය බහුලත්වය නිසා ඇතැමෙකුට රෙදි මැදීමෙන් පසු විදුලි ඉස්‌ත්‍රික්‌කය ක්‍රියා විරහිත කිරීමට අමතක වෙනවා. එය විදුලිය අපතේ යාමට මෙන්ම හදිසි අනතුරකට අත වැනීමක්‌ද වෙනවා.

මීට විසඳුමක්‌ ලෙස මොරටුව විශ්වවිද්‍යාලය මැදීමට භාවිත කළ හැකි නවතම රෙදි මදින මේසයක්‌ හඳුන්වා දී ඇත. එහි විශේෂත්වය වන්නේ එම මේසය මත කිසියම් සෙලවීමක්‌ සිදුනොවී විනාඩි 03 ක්‌ පැවතිවිට ස්‌වයංක්‍රියව මේසය මත ඇති විදුලි ඉස්‌ත්‍රික්‌කයට සැපයෙන විදුලිය විසන්ධි වේ. මෙමඟින් විදුලි බල කාර්යක්‌ෂමතාවයට පමණක්‌ නොව උදෑසන කාර්ය බහුලත්වය නිසා රෙදි මැද ඉස්‌ත්‍රික්‌කය එසේ තිබියදී යාමෙන් සිදුවිය හැකි අනතුරු වළක්‌වා ගැනීමටද හැකිවෙයි.

විදුලි ඉස්‌ත්‍රික්‌කයක්‌ භාවිත කරන ඔබ මෙවන් ක්‍රම සහ විධි පිළිබඳව අවධානයෙන් යොමු කිරීමෙන් ඔබේ මාසික විදුලි බිල යම් තරමකට අඩුකර ගත හැකියි.


චමින්ද ලියනගේ
ජ්‍යෙෂ්ඨ විධායක (නිපුනතා ප්‍රවර්ධන)
සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය

Importent Values In Life ඔබ අර්ථවත් දිවියක්‌ ගත කරන්නේද?

පෞරුෂ සම්පන්න බව යනු අර්ථවත්ව ජීවත්වීමයි. ඔබගේ පෞරුෂවත් දිවිය අර්ථවත් කරගැනීමට ඔබ ඔබේ ජීවිතයට වටිනාකම් එක්‌කරගත යුතුවේ. ඔබ, තුළ ඇති වටිනාකම් හඳුනාගෙන එම වටිනාකම් වර්ධනය කරගැනීම තුළින් ඔබට ඔබගේ ජීවිතය අර්ථවත් කරගැනීම පහසු වේ. මෙලොව වෙසෙන මනුෂ්‍ය හා සත්ව යන දෙකොට්‌ඨාසය වෙන්වන්නේ මෙම වටිනාකම් සීමාවෙනි. මෙම වටිනාකම් කිසිවෙකුට ඉගැන්විය හෝ කිසිවෙකුට කා වැද්දිය නොහැක. ඒවා ඔබ තුළ ම හටගත යුතු වේ. වටිනාකම් ඇතැම් විට ඔබට පමණක්‌ නොව ඔබ අවට සිටින අනෙක්‌ පුද්ගලයන්ගේද හිත සුව පිණිස වේ. එබැවින් ඔබ මෙම ලිපිය මඟින් ඔබගේ දිවියේ වටිනාකම් හඳුනාගෙන ඔබගේ දිවිය අර්ථවත් කරගන්න.

අවංක බව

අවංක බව ජීවිතයේ වඩාත් ම වැදගත් වටිනාකම ලෙස හඳුන්වා දිය හැක. ජීවිතයේ අනෙක්‌ වටිනාකම් සඳහා අඩිතාලම වන්නේද මෙම අවංකභාවය යි. අවංක භාවය යනු අනෙක්‌ පුද්ගලයන්ගේත් අතපසු වීම් සහ වැරදීම් සෙවීම පමණක්‌ නොවේ. අවංක භාවය යනු තබන සෑම පියවරක්‌ ම අතපසුවීම් හා වැරදීම් මඟහැරීමයි. ඔබගේ සාර්ථකත්වය රඳා පවතින්නේද ඔබගේ හා ඔබ අවට පුද්ගලයන්ගේ අවංකභාවය මතයි.

දයානුකම්පාව

අනුකම්පාව යනු මිල මුදල් රහිත පුද්ගලයෙකුට හෝ පවුලකට මුදලින් උදව් උපකාර කිරීම පමණක්‌ම නොවේ. ඔබට සතයකුදු නොමැතිව අන්අය කෙරෙහි දයානුකම්පාව දැක්‌විය හැකිය. ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා මුදල් උපකාර කිරීම මෙන්ම ඔවුන් වෙනුවෙන් ඔබගේ කාලය, ශක්‌තිය, වැයකිරීමෙන්ද ඔබට දයානුකම්පාව දැක්‌විය හැක. පෞරුෂ සම්පන්න ඔබද මෙම වටිනාකම ඔබේ දිවියට එක්‌කරගැනීම තුළින් පෙරලා ඔබද අන් අයගේ උදව් උපකාර වලට පාත්‍ර වනු ඇත.

විනය

පෞරුෂ සම්පන්න බවින් යුක්‌තව සමාජයේ හැසිරෙන ඔබට අනෙක්‌ පුද්ගලයන් ගෞරව කිරීම ඉතාමත් වැදගත්වේ. ඔබ අන් අයට ගරු නොකරන්නේ නම් අන් අයගේ ගෞරවය ඔබට නොලැබෙන අතර ඔවුන්ගේ ගැරහුමට ඔබ ලක්‌වනු ඇත.
මෙපරිදි ඔබ, ඔබ තුළ පවතින වටිනාකම් හඳුනාගෙන ඒවා වර්ධනය කරගැනීම තුළින් යහපත් ගුණගරුක සමාජය ගොඩනැංවීමට දායක වන අතරම ඔබගේ පෞරුෂය වඩ වඩාත් ඔප්නංවා ගැනීමටද හැකිවේ.

බබෙක්‌ ලැබෙන්න ඉන්න මවකගේ පෝෂණය

ගැබිනි සමයේ පෝෂණය සම්බන්ධව කාන්තාවක්‌ දැනුවත් වියයුතු කාරණා ගණනාවක්‌ ඇත. ඉන් විටමින් ඌණතාවය නිසා ඇතිවන නීරක්‌තිය කාන්තාවන් අතර බහුල තත්ත්වයකි. ගර්භනි අවධියේ දී මෙම තත්ත්වය ඉතා බහුලය. ලංකාවේ ගර්භනි මව්වරුන් තිදෙනෙකු අතරින් එක්‌ අයෙක්‌ නීරක්‌තියෙන් පෙළෙන බව දැනට ගණන් බලා ඇත. නීරක්‌තිය හෙවත් ලේ මඳකම ඇතිවීමට හේතු කීපයක්‌ බලපායි. මේ අතුරින් යකඩ ඌණතාවය වැදගත්ම හේතුවකි. යකඩ අඩංගු ආහාර කෑමට ගැනීමෙන් යකඩ ශරිරයට අවශෝෂණය කර ගැනීම සිදුවේ. යකඩ පදාර්ථ අතුරින් "හීම්" නැමැති යකඩ විශේෂය පහසුවෙන් ශරීරයට අවශෝෂණය වේ. මස්‌ සහ මාළු වර්ගවල මෙම යකඩ විශේෂය බහුලව ඇත. තවද, ආහාර ගැනීමේදී සහ පිළියෙල කිරීමේදී සිදු වන අඩුපාඩු නිසා බොහෝ විට ආහාර වල පෝෂණ ගුණය විනාශ වී යයි. ආහාරවල අඩංගු යකඩ පදාර්ථ අවශෝෂණය කරගැනීම පහසු කරන ආහාර වර්ග ද ඇත. එනම් විටමින් සහිත ආහාර (vitamin C) පලතුරු වර්ග, සමහර ධාන්‍ය වර්ග යකඩ උරාගැනීම පහසු කරන අතර ඒවා යකඩ සහිත ආහාරත් සමග කෑමට ගැනීම වඩාත් යෝග්‍යයි. යකඩ උරාගැනිමේ ක්‍රියාවලියට බාධා කරන ආහාර වර්ග තේ, කෝපි, කිරි වැනි පානයන් යකඩ උරාගැනිම අඩු කරන බැවින් ආහාර ගැනීමෙන් පැය 1-2 ක්‌ පමණ පසු වන තෙක්‌ මේවා ගැනීම නුසුදුසුයි. එනම් ආහාර ගැනීමට ආසන්නවම හෝ ආහාර ගැනිමත් සමඟම තේ, කෝපි වැනි පානයන් ගැනිමෙන් ආහාරයේ ඇති පෝෂ්‍ය ගුණය ශරීරයට නොලැබී යයි. ගර්භනි සමයේ දීම මෙන්ම ගැබ් ගැනීමට සූදානම් වන කාලයේදී නිසියාකාර පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර ගැනීමෙන් නීරක්‌තිය වළකාගත හැක. මස්‌, මාළු සහ පලා වර්ග වැනි ආහාර සෑම ආහාර වේලකටම එකතු කර ගැනීම මෙම අවධියේදී සුදුසු වේ.

නීරක්‌තිය ඇති වීමට තවත් හේතු

කොකු පණු රෝගය එක්‌ හේතුවකි. ඒ මගින් ශරීරයේ ලේ අඩු වන අතර මේ හැර කාන්තාවන්ගේ මාස්‌ පතා සිදුවන ඔසප් වීම සමඟ රුධිරය පිට වීමෙන් ශරීරයේ ලේ අඩු කම ඇති විය හැක. අර්ශස්‌ රෝගය මඟිssන්ද ශරීරයේ රුධිරය පිටවීම සිදුවේ. මෙම තත්ත්වයද දිගින් දිගටම ඇතිවන විට නීරක්‌තිය නම් තත්ත්වය ඇති විය හැක. ගැබ් ගැනීමට සූදානම් වන කාන්තාව විශේෂයෙන්ම ශරීරයේ රුධිර ප්‍රමාණය ගැන සැළකිලිමත් විය යුතුයි. ගැබ් ගැනීමත් සමඟම ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය ඉහළ යාමක්‌ සිදුවේ. මීට හේතුව මවගේ අවශ්‍යතාවයන්ද එකතු වීමයි. ආසන්න සිමාවන් තුළදී ගැබ් ගැනීම් සිදුවන විට ශරීරයේ ඇති ගබඩා කරන ලද පෝෂ්‍ය කොටස්‌ මට්‌ටම අඩු වී යයි. මෙවිට මවට සහ මව තුළ වැඩෙන ළදරුවාට අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය නොලැබී යයි. කලලයේ වර්ධනය බාල වේ. මෙවන් අවස්‌ථාවල දරුවාගේ උපත් බර අඩු වේ. ළදරු මරණ සිදුවීමටද මෙය හේතු විය හැක. තවද මවට දරු ප්‍රසූතියත් සමඟ ඇති වන රුධිර වහනය දරාගත නොහැකි වියහැක.

ඉහත හේතූන් නිසා ගර්භනි සමයේ දී නීරක්‌තිය ඇතිවීම වළක්‌වා ගැනීමට සුදුසු සියළු දෑ කළ යුතුයි. එනම් දරුවන් අතර පරතරයක්‌ පවතින අන්දමින් ගැබ් ගැනීම් පාලනය කළ යුතුයි. මේ සඳහා සුදුසු උපත් පාලන ක්‍රම භාවිත කළ යුතුයි. ආහාර ගැනීමේදී සහ පිළියෙළ කිරීමේදී පෝෂණය පිළිබඳව අවබෝධයක්‌ ඇතිව එය කළ යුතුයි. ගැබ් ගැනීමක්‌ සිදු වූ වග දැනගත් විගසම සායනයට ඇතුළු වී නිසි පරීක්‌ෂණ වලට සහභාගි විය යුතුයි. ඒ මඟින් ලේ මඳකමක්‌ ඇත්නම් මුලින් ම හඳුනාගත හැක. යකඩ අඩංගු පෙති ගර්භණී සායනයෙන් නොමිලේ ලබාදෙන අතර මේවා ඉතා අඩු මිලකට පිටතින්ද ලබාගත හැක. මෙම පෙති භාවිතයේ දී ද ආහාර ගැනීමෙන් අනතුරුව තේ, කෝපි වැනි අමතර පානවර්ග නොබොන අවස්‌ථාවක ගත යුතුයි. වඩාත් සුදුසු වන්නේ සවස 6-7 ත් අතර කාලයයි. නීරක්‌තියට ප්‍රතිකාර කරන විට යකඩ වලට අමතරව ෆොලික්‌ අම්ලය, විටමින් ඊ12 යනාදි විටමින් වර්ගද ලබාගත යුතුයි. ෆොaලික්‌ අම්ලය යනු විටමිනයකට සමාන රසායන ද්‍රව්‍යයකි. මෙය මවක්‌ තුළ වැඩෙන දරුවාට සහ දරුවකු දරා සිටින මවට අත්‍යාවශ්‍යම ඖෂධයකි. ළදරු කලලයක්‌ මව තුළ වැඩෙන විට එයට අවශ්‍ය පෝෂණය මවගෙන් උරාගැනීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් මව තුළ යම් යම් ඌණතාවයන් ඇති විට කලලයට අවශ්‍ය ප්‍රමාණයකට මේවා ලැබෙන්නේ නැත. ළදරු කලලයක ස්‌නායු පද්ධතිය වැඩීම සිදු වන්නේ මුල් දින 20 තුළදීය.

බොහෝ විට මව්වරුන් ගැබ් ගැනීමක්‌ ගැන සැක ඇති කර ගන්නේ ඔසප් වීම පමා වූ විටය. තවත් සති 2 කට පමණ පසු මුත්‍රා පරීක්‌ෂා කිරීමෙන් මෙය තහවුරු කර ගැනීම ඔවුන්ගේ සිරිතය. කණගාටුදායක තත්ත්වය වන්නේ මේ වනවිට කළලයේ දින 20 පසු වී තිබීමය. ෆොලික්‌ අම්ලය පටන් ගැනීමට මේ වන විට පමා වැඩිය. මවගේ ශරීරයේ ෆොලික්‌ අම්ලයේ ඌණතාවක්‌ නොමැති නම් කලලයේ වැඩීමට බාධාවක්‌ නැත. නමුත් මවට ෆොලික්‌ අම්ල ඌණතාවයක්‌ තිබුණහොත් එය මෙම වැඩෙන කලලයට බලපෑමෙන් ස්‌නායු පද්ධතියේ වැඩීම බාල වේ. මෙහිදී එම tube defects නමින් හැඳින්වෙන හිස්‌ කබල සහ කශේරු පද්ධතියේ දුර්වල තත්ත්වයන් ඇතිවිය හැක. මීට අමතරව මොළයේ සහ අනෙක්‌ අවයව වල වර්ධනය ඇණ හිටීමෙන් දරුවා මරණයට පත්වීමට පවා ඉඩ පවතී.

කශේරු පද්ධතියේ ගැටලු ඇති වීමෙන් සුෂුම්නාවේ කොටස්‌ පිටතට පැමිණිය හැක. දරුණුම තත්ත්වයන් යටතේ දරුවාගේ හිස්‌කබලේ වර්ධනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබිය හැක. මීට අමතරව ෆොලික්‌ අම්ලය මවගේ ශරීරයටද මෙම අවධියේදී අත්‍යාවශ්‍යය. වේගයෙන් වැඩෙන සෛල රතු රුධිර සෛල සහ සුදු රුධිර සෛලවල ක්‍රියාකාරිත්වයට මෙම ෆොලික්‌ අම්ලය අවශ්‍ය වේ. ෆොලික්‌ අම්ල බහුලව පවතින ආහාර වන්නේ එළවළු සහ පලා වර්ගය ෆොලික්‌ අම්ලය මෙම එළවළු හා පලා වර්ග සේදීමේදීත් තදින් තැම්බීමේදී විනාශ විය හැක. එබැවින් එළවළු සහ පලා වර්ග කැපීමට පෙර සේදීම කළ යුතුය. අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ තැම්බීම කළ යුතුය. සලාද ලෙස ආහාරයට ගැනීමෙන් පෝෂණය වැඩි කර ගත හැක. කෙසේ වෙතත් පහසුම සහ සුදුසුම ක්‍රමය වන්නේ ශරීරයට අවශ්‍ය ෆොලික්‌ අම්ල ප්‍රමාණය පෙති වශයෙන් ගැනීමයි. ෆොaලික්‌ අම්ල ඕනෑම ඖෂධ ශාලාවකින් වෛද්‍යවරයෙකුගේ සටහනක්‌ නොමැතිව වුවද ලබාගත හැක. කලලයේ ස්‌නායු පද්ධතියේ වර්ධනයට ෆොලික්‌ අම්ලය අවශ්‍ය වන නමුත් වෙනත් ජානමය හෝ පාරිසරික හේතූන් මත ස්‌නායු ආබාධ ඇති වන අවස්‌ථා ද ඇත. සමහර ඖෂධ වර්ග ගැනීමෙන් නීරක්‌තියට තුඩු දෙන තත්ත්වයන් ඇතිවිය හැක. යම් ඖෂධ වර්ගයක්‌ දිගුකලක්‌ භාවිතවන්නේ නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය.


වෛද්‍ය
චම්පා නෙල්සන්

දෙලූයි - බල මාළුයි චුට්‌ටක්‌ කෑවාට කිසිම ගිනියමක්‌ නෑ"

රාජකීය පණ්‌ඩිත විලියම් අල්විස්‌ සූරින් ඉස්‌සර කී කතාවක්‌

"මොනාද දවල්ට කෑවේ?"

"දෙලුයි, බල මාළුයි, බතුයි"

"හොඳට හිටිවී.. ඒ දෙකම හරිම ගිනියම් කෑමනේ ළමයෝ.. "

බොහෝ දෙනෙක්‌ එසේ කියති.

එහෙත් ඒ ගැන දිවංගත රාජකීය පණ්‌ඩිත විලියම් අල්විස්‌ සූරීන් ඉස්‌සර කීවේ මෙවන් කතාවක්‌.

"පිටි බහුල ආහාරයක්‌ වන දෙල් තරමක්‌ උෂ්ණ ගුණයෙන් යුත් බව සැබෑය. එහෙත් එය සීමාවක්‌ ඇතිව කෑවොත් අගුණනොවේ. දෙල් උෂ්ණාධිකය යන මතයට කෙලින්ම එකඟ විය නොහැකිය. උෂ්ණ ගුණය ඇති බොහෝ දේ පෝෂණීය ගුණය සහිත බවද පිළිගත යුතුය. කුෂ්ඨ රෝග, අමිල පිත්ත යන රෝග ඇති අයට දෙල් වැඩිපුර කෑම අගුණයි. මේ පීඩා නැති අයට දෙල් කෑම අගුණ නොවේ. පිටි බහුල නිසා දියවැඩියා රෝගීන්ටද ඒ අහිතයි." (එළවළු ගුණ ග්‍රන්ථයෙනි)

මේ ලියන මා සමග දිනක්‌ කථාවට වැටී සිටි විලියම් අල්විස්‌ සූරින්ගෙන් මා මේ ගැන ඉස්‌සර දවසක විමසූ විට එතුමා කීවේ මෙසේය.

"දෙල් කනවා කිව්වාම, මිනිහෙක්‌ හැමදාම හැම තිස්‌සේම දෙල් කන්නේ නැහැනේ. බල මාළු කෑමත් එහෙමනේ. අනිත් එක, මිනිහෙක්‌ එක වේලකට දෙල් ගෙඩියක දෙල් කනවාද? බලමාළුත් එහෙමනේ. මිනිහෙක්‌ බලමාළු ග්‍රෑම් 500 ක්‌ එක වේලකට කනවද? අඩු ගණනේ මාළු කෑලි තුන හතරක්‌වත් කන්නේ නැහැනේ. ඉතින් ඉඳලා හිටලා කෑම වේලකට බල මාළු කෑල්ලක්‌, දෙල්කෑලි දෙකතුනක්‌ කෑවා කියා මුකුත් වෙන්නේ නැහැ."