Wednesday, January 7, 2015

නිවසේදී සාදාගත හැකි ඉන්දීය අත් බෙහෙත්

අපට නිතර ඇතිවන ලෙඩ රෝග සඳහා නිවසේදීම සකස්‌ කර ගත හැකි ඉන්දීය අත්බෙහෙත් වට්‌ටෝරුවක්‌ මෙසේය.
ඇදුම රෝගය සඳහා -
මී පැණි තේ හැඳි 1 ක්‌ සහ කුරුඳු පොතු කුඩු තේ හැඳි කාලක්‌ එකට මිශ්‍ර කර භාවිත කිරීමෙන් ගුණ ලබා දේ. ඇදුම රෝගයේ මුල් අවස්‌ථාවෙහි පසු වන්නන්ට කරාඹු නැටි 8-10 අතර ප්‍රමාණයක්‌ හා සුදුළුණු ස්‌වල්පයක්‌ කිරි කෝප්ප භාගයකට මිශ්‍ර කර උතුරවා රාත්‍රි කාලයේ භාවිත කිරීම යෝග්‍යය. එමෙන්ම උතුරවා ගත් ජලයට මී පැණි තේ හැන්දක්‌ මිශ්‍ර කර රාත්‍රි කාලයේ පානය කිරීමද යෝග්‍යය.
කොන්දේ වේදනාව සඳහා
දෙහි යුෂ ඉතාමත් ගුණදායී පානයක්‌ ලෙස දැක්‌විය හැකිය. දෙහි ගෙඩියක යුෂ මිරිකා එයට ලුණු ස්‌වල්පයක්‌ මිශ්‍ර කර දිනකට දෙවරක්‌ පානය කිරීම මෙවැනි අවස්‌ථාවකදී යෝග්‍යය. මෙයට අමතරව අමු අල ගෙඩියක ලෙල්ල ඉවත් කර එම අල ගෙඩිය වේදනාව පවතින ප්‍රදේශයට තැබීමද ප්‍රතිකාරයකි. විටමින් සී අඩංගු ඕනෑම සීට්‍රස්‌ කුලයට අයත් පලතුරකින් මිලි ග්‍රෑම් 2000 ක්‌ පමණ දිනපතා ආහාරයට ගැනීම හෝ පානය කිරීමද කොන්දෙහි වේදනාව සඳහා යෝග්‍යය.
සුදුලූනු තෙල් වේදනාව පවතින ප්‍රදේශයෙහි ආලේප කිරීමද කොන්දෙහි වේදනාව සමනය කිරීමට උපකාරි වේ. මෙහිදී සුදුලූනු ගෙඩි 10 ක්‌ පමණ කුඩා කැබලිවලට කපා අඩු උෂ්ණත්වයක්‌ යටතේ තෙලෙන් බැද එයට සෙසම් තෙල්, පොල්තෙල් හෝ අබ තෙල් මිශ්‍ර කර සුදුලූනු තෙල් සාදාගත හැකිය. මෙහිදී සුදුලූනු හා කරාඹු නැටි දුඹුරු පැහැය වනතෙක්‌ තෙලෙන් බැද ගත යුතුය. අනතුරුව එම තෙල් සිසිල් වන්නට හැර වේදනාව පවතින පසුපස කොටසෙහි ආලේප කර පැය තුනක කාලයක්‌ තැබිය යුතුය. දින කිහිපයකින් වේදනාව නැති වී යයි.
කැස්‌ස සඳහා
මිදි යුෂ සඳහා මී පැණි තේ හැන්දක්‌ කලවම් කර දිනකට කෝප්පයක්‌ බැගින් පානය කිරීමෙන් ගුණ ලබා දෙයි. වියළි කැස්‌ස සඳහා ආමන්ඩ් යෝග්‍යය. ආමන්ඩ් ඇට හතක්‌ ජලයට දියකර රාත්‍රියක්‌ තබා එම ඇටවල පොතු ඉවත් කර ගත යුතුය. අනතුරුව එම ඇට කුඩු කර බටර් හා සීනි ග්‍රෑම් 20 ක්‌ බැගින් එක්‌ කර තලපයක්‌ සාදා එම මිශ්‍රණයෙන් ස්‌වල්පය බැගින් දිනකට දෙවරක්‌ භාවිත කළ යුතුය. මෙහිදී උදැසන හා සවස භාවිත කිරීම යෝග්‍යය.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා -
ලෙමන් සෙම්ප්‍රතිශ්‍යාවට අතිශයින් ගුණදායී පලතුරක්‌ සේ සැලකේ. උණුසුම් ජලය කෝප්පයකට ලෙමන් යුෂ එක්‌කර මී පැණි තේ හැන්දක්‌ද මිශ්‍ර කර දිනපතා වරක්‌ හෝ දෙවරක්‌ භාවිත කිරීම යෝග්‍යය.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා
ගම්මිරිස්‌ කුඩු මේස හැඳි 1 ක්‌ කිරි කෝප්පයකට මිශ්‍ර කර උතුරවා එයට කහ ස්‌වල්පයක්‌ හා සීනි ස්‌වල්පයක්‌ මිශ්‍ර කර දිනකට වරක්‌ බැගින් පානය කිරීමද යෝග්‍යය. දින තුනක්‌ මෙය පානය කිරීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව සුව කර ගත හැකිය.


ඉන්දීය ජාතික
දේශීය වෛද්‍ය ශෂිකාන්ත් එස්‌ සෙත්
විසින් ලබා දුන් තොරතුරු මත සැකසිණි.