Thursday, November 13, 2014

සතියකට බිත්තර 06 ක්‌ ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා අවම වේ

සතියකට බිත්තර හයක්‌ වත් ආහාරයට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව 44% පමණ අඩු වේ. එසේම කෙස්‌ හා නියපොතු වැඩීම හොඳින් සිදුවේ. බිත්තර කෑම ගැන සමහර අය බියක්‌ දක්‌වන්නේ කොලෙස්‌ටරෝල් නිසාය. නමුත් නීරෝගී පුද්ගලයකුට දෛනික කොලෙස්‌ටරෝල් අවශ්‍යතාව මිලිග්‍රෑම් 300 පමණ ප්‍රමාණයකි. බිත්තරයක අඩංගු වන්නේ කොලෙස්‌ටරෝල් මිලිග්‍රෑම් 150 - 180 අතර ප්‍රමාණයකි.
බිත්තරයක සුදු මදය හා කහ මදය තුළ අපට අවශ්‍ය පෝෂ පදාර්ථයන් අඩංගුව ඇත. බිත්තරයක වර්ණය අනුව ගුණාත්මක බව වෙනස්‌ වන්නේ නැත. බිත්තරයක ප්‍රොaටීන් ඛනිජ ලවණ විටමින් වර්ග අඩංගුය. ප්‍රොaටීන් අවශ්‍ය වැඩෙන දරුවන්ට පමණක්‌ නොව වැඩිහිටියන්ටත් ප්‍රොaටීන් අත්‍යවශ්‍යය.
බිත්තරවල ලූටීන් හා සීසැන්නින් සංඝටකයන් නිසා ඇසේ සුද ඇතිවීමට ඇති ප්‍රවණතාවය අඩුවේ. එක්‌ බිත්තරයක කෝලීන් මයික්‍රෝ ග්‍රෑම් 300 ක්‌ පමණ අඩංගුය. ඉන් මොළයේ ස්‌නායු පද්ධතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමට උපකාරි වේ.
වෛද්‍ය අතුල මහගමගේ
සකස්‌ කළේ - හැටන් - මනුර සුදත් සෙල්ලහේවා

Monday, December 13, 2010


හෘද රෝග තිබේ නම් බබෙක්‌ හදන්න
එපා !
වෛද්‍ය උපදෙස්‌ ගන්න



හෘද රෝග කවර තත්ත්වයේ පුද්ගලයකු තුළ වුවද ඇති කරන්නේ අවදානම්කාරී තත්ත්වයකි. මෙම තත්ත්වය ගර්භනී කාන්තාවන් තුළ විශේෂ අවදානමක්‌ ඇතිකරයි.

කාන්තාවන් අතර දක්‌නට ලැබෙන හෘද රෝග අතරින් සමහරක්‌ උපතින් ම තිබූ ඒවාය. අනෙක්‌වා උපතින් පසු වැළදුන ඒවාය. රූමටික්‌ උණ නැමති රෝගය සුළඟින් බෝවන බැක්‌ටීරියා විෂබීජ ආශ්‍රිත රෝගයක්‌ ලෙස සැලකේ. මෙම රෝගය වැඩි පිරිසක්‌ ජීවත්වන කුඩා නිවෙස්‌වල සෞඛ්‍යමය වශයෙන් නුසුදුසු ජනාකීර්ණ පරිසරයක බහුලව පැතිරේ. මිනිසුන්ගේ ජිවන රටාවන් දියුණු වීමත් සමඟම පරිසරයේ තත්ත්වය ඉහළ යැමෙන් දැන් මෙම රෝගය එතරම් තදින් පැතිරෙන්නේ නැත. මෙම රෝගයේ ලක්‌ෂණ වන්නේ උණ සමඟ හන්දි වේදනාව සහ ඉදිමීමයි. භයානක තත්ත්වය වන්නේ හෘද කපාට වලට බලපෑමෙන් ඇතිවන හෘද රෝග තත්ත්වයයි. පෙනිසිලින් නම් එන්නත මගින් විෂබීජ පාලන කිරීම සඳහා මෙම රෝගීන්ට කාලයක්‌ යනතුරු එම එන්නත ලබාදෙනු ලැබේ. මේ හේතුවෙන්ද දැන් රූමටික්‌ හෘද රෝගීන් අඩු වෙමින් පවතී.

මීට අමතරව හෘද කපාට වල රෝග උපතින් ම ඇතිව බිහිවන දරුවන් ඇත. නවීන වෛද්‍ය ක්‍රම මගින් කපාට ගැටලු ඇති දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට විසඳුම් ලැබේ. ඔවුන්ගේ ආයුෂ පෙර මෙන් නොව වෛද්‍ය තාක්‌ෂණයේ පිහිටෙන් දැන් වැඩි වී ඇත. එබැවින් ගැබ් ගැනීමේ වයසේ කාන්තාවන් අතරද මෙවැනි ගැටලු සහිත කාන්තාවන් සිටිය හැක.

ගැබ් ගැනීමේදී සිරුරේ සිදුවන වෙනස්‌ වීම් නිසා හෘද කපාට රෝග ඇති කාන්තාවක ගැබ් ගැනීමක්‌ සමඟ ක්‍රමයෙන් රෝගි තත්ත්වයකට පත්විය හැක. ගර්භයේ වැඩීමත් සමඟ තත්ත්වය බරපතල වී ජීවිතයට පවා තර්ජනයක්‌ විය හැක. එබැවින් එවැනි කාන්තාවක්‌ ගැබ් ගැනීමට පෙර වෛද්‍ය උපදෙස්‌ ලබා ගත යුතුයි. තවදුරටත් පරික්‌ෂණ සඳහා හෘද රෝග අංශයට යොමු වීමෙන් හෘදයේ තත්ත්වය බලාගත යුතුයි. මෙම පරික්‌ෂණ වලින් ලබාගන්නා තොරතුරු අනුව ගැබ් ගැනීමේ සුදුසු නුසුදුසු භාවය ගැන වෛද්‍යවරු විසින් උපදෙස්‌ ලබාදෙනු ඇත. මේවා අකුරට ම පිළිsපැදීම ඉතා ම වැදගත් ය. සමහර හෘද කපාට රෝග ගැබ් ගැනීමට පෙර ශල්‍යකර්ම මගින් නිවැරදි කරගත යුතුයි. මේවා සඳහා ප්‍රතිකාර ක්‍රම ලංකාවේ රාජ්‍ය අංශයේ රෝහල් වලින් ලබාගත හැක. මෙම තත්ත්වයන් සඳහා නිසි ප්‍රතිකාර නොගැනීමෙන් සහ තත්ත්වය නොසලකා හැරීමෙන් මව්වරුන්ගේ ජීවිතය නැතිවන අවස්‌ථා ඇත. විශේෂයෙන්ම දරු ප්‍රසූතියෙන් පසුව ශරීරයේ ඇතිවන වෙනස්‌කම් නිසා තත්ත්වය වේගයෙන් බරපතල විය හැක. මවක්‌ නැති දරුවකු රැගෙන ගෙදර යැමට සිදුවන අවස්‌ථා ඇත.

තවද අද ජීවන රටාවේ අඩුපාඩුකම් සහ මානසික ආතතිය වැඩිවීමෙන් හෘද රෝග වැළදීම අඩු වයස්‌ කාන්තාවන් අතර දැකිය හැක. එනම් ව්‍යායාම අඩුවිම, අධික මේදය සහිත ආහාර ගැනීම වැනි හේතුන් නිසා අධික රුධිර පීඩනය සහ දියවැඩියා රෝගය වැනි රෝග සමඟම හෘද රෝගද වයසින් අඩු පිරිමින් මෙන් ම කාන්තාවන් අතරද දැකිය හැක. මෙවැනි හෘද රෝග ගැබිනි සමයේ ඇතිවීමෙන් තත්ත්වය තවත් බරපතල විය හැක. එබැවින් අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ඇති කාන්තාවන් ගැබ් ගැනීමට පෙර එම තත්ත්වයන් හොදින් පාලනය කරගත යුතුයි.

තවද නීරක්‌තිය ගර්භණී සමයේ දී විවිධ ආකාරයෙන් හානිකර විය හැක. කලලයට අවශ්‍ය රුධිර සැපයුම අඩු වීමට අමතරව මවගේ සෞඛ්‍යයටද මෙහි බලපෑම් ඇත. එනම් ගැබිනි සමයේ වැඩිපුර ක්‍රියාකාරි වන හෘදය නීරක්‌තිය නිසා තවත් දුර්වල තත්ත්වයකට පත්විය හැක. එබැවින් ශරීරයේ රුධිර තත්ත්වය මනා ලෙස පවත්වා ගැනීම ගැබ් ගැනීමට පෙර සිට ම සිදුකල යුතුයි.

හෘද රෝග සහිත කාන්තාවන් ගැබ් ගැනීම සඳහා සූදානම් වූ අවස්‌ථාවේදී සහ දරු ප්‍රසූතියෙන් පසුවද උපත් පාලන ක්‍රම භාවිත කළ යුතුය. මේ සඳහා තමාට සුදුසු උපත්පාලන ක්‍රමයක්‌ තම වෛද්‍යවරයා සමග සාකච්ඡා කර තෝරා ගත යුතුයි. ඕනෑම උපත් පාලන ක්‍රමයක්‌ මෙවැනි රෝග වලින් පසුවන කාන්තාවන්ට සුදුසු වන්නේ නැත. එබැවින් වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීම වැදගත් ය.


වෛද්‍ය
චම්පා නෙල්සන්

සමෙහි තෙතමනය රඳා පැවතීම අවශ්‍යද?

සමෙහි තෙතමනය රඳා පැවතීම අවශ්‍යද? එසේ නම් තෙතමනය රඳා පවත්වාගන්නේ කෙසේද?

ඔව්.. සමෙහි තෙතමනය රඳා පවත්වා ගැනීම අවශ්‍ය වේ. නිරන්තරයෙන් සම හරහා ශරීර අභ්‍යන්තරයේ සිට ජලය මතුපිටට ගමන් කරයි. එය අපි "ට්‍රාන්ස්‌ එපිඩමල් වෝටර් ක්‍රොස්‌" ලෙස හඳුන්වමු. අපිචර්මය හරහා නිරන්තරයෙන් ජලය මතුපිටට කාන්දුවීමක්‌ මේ ක්‍රියාවලිය හරහා සිදුවේ. මෙසේ කාන්දුවන ජලය වාෂ්ප වී යැමේ හැකියාවක්‌ ඇත. එය වළක්‌වන්නේ අපේ සම තුළ ඇති ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි මඟින් නිෂ්පාදනය වන ස්‌නේහය හෙවත් තෙල් ස්‌ථරය මගිනි.

අපිචර්මය මත තෙල් ස්‌ථරයක්‌ රැඳීමෙන් අපිචර්මය මතට කාන්දුවන ජලය වාෂ්පවීම වළකයි. මෙම ක්‍රියාවලියෙන් අපිචර්මය මත ජලය රැඳී පවතියි. ජලය රැඳුණු අපිචර්මය බොහෝ නිරෝගී වේ. අපිචර්මය තුළ නිවැරදි ජල ප්‍රමාණය තිබීමේ වාසිය වන්නේ අපිචර්මයේ කාර්යයන් ඉතාම සාර්ථකව කිරීමට හැකියාව ලැබීමයි.


සමෙහි තෙතමනය රඳා නොපැවතීමට වෙනත් සාධක බලපානවාද?

ඔව්... නමුත් විවිධ හේතු නිසා සමෙහි තෙතමනය අවශ්‍ය පරිදි රඳා නොපවතින අවස්‌ථාද තිබේ. කෙනෙකුගේ උපතින්ම ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි මගින් නිෂ්පාදනය වන ස්‌නේහ ප්‍රමාණය අඩු නම්, අපිචර්මය මතට විවරවන ස්‌නේහස්‍රාවී ග්‍රන්ථි ප්‍රමාණය අඩු නම්, ඇතැමෙකුගේ රෝග තත්ත්වයන් නිසා ස්‌නේහ නිෂ්පාදනය අඩු නම්, තවත් විටෙක විවිධ ආලේපන දීර්ඝ කාලයක්‌ පාවිච්චි කිරීමෙන් ස්‌නේහය නිෂ්පාදනය අඩු නම් මෙවැනි තත්ත්ව ඇති වේ. මෙවැනි අයගේ තෙල් ස්‌ථරය සමහර විට ඉතා සියුම් ස්‌ථරයක්‌ ලෙස පිහිටයි. එසේත් නොමැති නම් තැනින් තැන පමණක්‌ පිහිටයි. එවැනි තත්ත්ව යටතේ අපිචර්මය හරහා උඩට එන ජලය අපිචර්මය තුළ නොරැඳී වාෂ්ප වී වාතයට එකතු වේ. එවිට අපිචර්මය වියළීමට පටන් ගනී. සම වියළීම ලෙස අපි අදහස්‌ කරන්නේ අපිචර්මය වියළීමයි.

අපිචර්මය වියළීම වැලැක්‌වීම සඳහා ස්‌වභාවිකවම අප ශරීරය තුළින් ලබාදෙන ප්‍රතික්‍රියාව වන්නේ තෙල් ස්‌ථරය නිෂ්පාදනයයි. මෙම තෙල් තට්‌ටුව අපිචර්මය මත නැතිනම් පිටතින් තෙල් ස්‌ථරයක්‌ ලබාදීමට අපට සිදුවේ. එසේත් නොමැතිනම් තෙල් ස්‌ථරය ලබාදෙන ගමන් සමට පිටින් ජලය සැපයීමක්‌ ද සිදුකළ යුතුය.



සමට තෙතමනය ලබාදෙන්නේ කෙසේද?

කෙනෙකුට සෑම විටම අපිචර්මය මත ජලය ආලේප කරමින් සිටිය නොහැකියි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පොල්තෙල්, තලතෙල්, ඔලිව් තෙල්, එඬරු තෙල් වැනි තෙල්වර්ග ආලේප කිරීමෙන් ද තෙල් ස්‌ථරයක්‌ සම මත ඇති කරගත හැකියි. නමුත් ඒවා ප්‍රායෝගිකව භාවිත කළ නොහැකියි. එයින් අපහසුවක්‌ ඇති වේ. මෙවැනි තෙල් සම මතුපිට ආලේප කිරීමෙන් සමෙහි ඇති රෝම කූප විවරයන් වැසීමෙන් ඒවා හරහා නිෂ්පාදනය වන තෙල් මෙම රෝම කූප තුළ එකතු වී ඒවා තුළට බැක්‌ටීරියා ගමන් කිරීමෙන් විසර ගෙඩි පවා ඇති වේ.

නමුත් වෛද්‍ය විද්‍යාව තුළ සොයාගෙන ඇත්තේ සමෙහි තෙතමනය රැකගැනීමේ ආලේපන වර්ග දෙකක්‌ ඇති බවයි. ඉන් එකක්‌ තෙල් ස්‌ථරයක්‌ ලෙස ක්‍රියාකරන, අපි සාමාන්‍ය පාවිච්චියේදී ගන්නා තෙල්වලට වඩා වෙනස්‌ එතරම් තෙල් ගතියක්‌ නොරැඳෙන ඔක්‌ලුසිව් මොයිස්‌චරයිසර් ලෙස හඳුන්වයි.

ඔක්‌ලුසිව් මොයිස්‌චරයිසර් මඟින් කරනු ලබන්නේ ස්‌වභාවික තෙල් ස්‌ථරය මඟින් සම මතුපිට පෘෂ්ඨය වසා සිටිනවා මෙන් අප මෙසේ ලබාදෙන ඔක්‌ලුසිව් මොයිස්‌චරයිසර් තෙල් ස්‌ථරය මඟිනුත් සම මතුපිට පෘෂ්ඨය වසා තබා ගැනීමයි. එවිට අපිචර්මය හරහා ජලය වාෂ්පවීමක්‌ සිදු නොවේ. එමගින් අපිචර්මය තු=ළ තෙතමනය රැඳේ.

දෙවැන්න, හයික්‍රොස්‌කොපි මොයිස්‌චර් ලෙස හඳුන්වයි. මෙය මඟින් කරනු ලබන්නේ වාතයේ ඇති ජලවාෂ්ප උරාගෙන සම මතුපිට තැන්පත් කිරීමයි. එමඟින් සමෙහි තෙතමනය රඳවාගැනීම ඇතිකරනවා වාගේම ඔක්‌ලුසිව් ක්‍රියාකාරීත්වය ද ලබාදෙයි.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

ගැබ්ගෙලෙහි ඇති වැදගත්කම

කාන්තා ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් ව්‍යහයක්‌ ලෙස ගැබ්ගෙල හඳුන්වාදිය හැකියි. මෙය වෛද්‍ය විද්‍යාව තුළ සර්වික්‌ස්‌ ලෙස හඳුන්වයි. යෝනි මාර්ගයේ තිබෙන සම්බන්ධතාවය ගර්භාෂය කරා යොමුවන්නේ ගර්භාෂයේ පහළ කොටස වන ගැබ්ගෙල හරහා ය. මෙය සෙන්ටිමීටර් 2-5 අතර දිගකින් යුක්‌ත වේ.

ගැබ්ගෙලෙහි ඇති මාංශ පේශී ගර්භාෂයේ පිහිටි මාංශ පේශීවලට වඩා වෙනස්‌ වන අතර එහි ඇති ඉලාස්‌ටින් පටක ඉතා ඝනකමින් යුක්‌ත වේ.

ගැබ්ගෙල මගින් සංසර්ගයේදී යෝනි මාර්ගයේ තැන්පත් වන ශුක්‍රාණු ගර්භාෂය කරා යොමු කිරීමට මෙන්ම නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක්‌ ඇති ශුක්‍රාණු ගර්භාෂය වෙත යොමු කිරීමට ද වැදගත් වේ.

ශුක්‍රාණු යොමුවීමෙන් පසු සංසේචනයෙන් ඇතිවන ප්‍රතිඵලය නිරෝගීවන්නට සුදුසු වාතාවරණය තීරණය කරන්නෙත් ගැබ්ගෙලෙහි පවතින මියුකස්‌ ලෙස හඳුන්වන ස්‍රාවය මගිනි.

එමෙන්ම ඔසප්වීම සිදුවී ගර්භාෂය තුළ වන රුධිර වහනය පිටතට එනු ලබන්නේ ද ගැබ්ගෙල හරහා ය. කලාතුරකින් ගර්භාෂයේ තිබෙනා ඇතැම් රෝග තත්ත්වයන් ද ගැබ්ගෙලෙහි ද ඇති වේ.

උදාහරණයක්‌ ලෙස ගර්භාෂයේ හටගන්නා ෆයිෙඩ්‍රායිඩ් වැනි ගෙඩි වර්ග ගැබ්ගෙලෙහි ද ඇතිවිය හැකියි. මෙවන් රෝග ගැබ්ගෙලෙහි හටගත් විට සාමාන්‍ය ප්‍රසූතියක්‌ මගින් දරුවන් බිහිවීමේදී අපහසුතා ඇතිවෙන්නට ඉඩ ඇත.

එමෙන්ම ගර්භාෂයේ ඇතිවන ඔසප්, යෝනි මාර්ගයට ඒමේදී බාධා ඇතිවිය හැකියි.

ගැබ්ගෙලෙහි ඇතිවන දරුණු සෞඛ්‍ය ගැටළුව වන්නේ ගැබ්ගෙල පිළිකාය. වාසනාවකට මෙන් ගැබ්ගෙලෙහි ඇතිවන පිළිකා පූර්ව පිළිකා තත්ත්වය යටතේ හඳුනා ගත හැකියි. මේ සඳහා වෛද්‍යවරුන් විසින් පැප් පරීක්‍ෂණය භාවිත කරයි.

ඊට අමතරව HPV වෛරස පරික්‍ෂා මඟින් පවා ගැබ්ගෙල පිළිකා ඉතා මූලික අවස්‌ථාවේ දී සොයාගත හැකියි.

මේ වනවිට ලංකාවේ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වලක්‌වා ගැනීම සඳහා HPV වෛරසය සඳහා ලබාදෙන එන්නත ඉවහල් වී ඇත. මෙම එන්නත ලබාගැනීමෙන් ගැබ්ගෙල පිළිකාවලින් වැඩි ප්‍රතිශතයක්‌ වලක්‌වා ගත හැකියි. විශේෂයෙන් විවාහ නොවූ කාන්තාවන්ට සහ දියණියන්ට මේ හැකියාව ලැබී ඇත.

ගැබ්ගෙල මත සිදුකරනා විවිධ ශල්‍යකර්ම ගැබ්ගෙල පිළිකාවලදී ඇතිවන පූර්ව පිළිකා තත්ත්ව සහ ගැබ්ගෙලෙහි ඇතිවන ෆයිඩ්‍රායිඩ් වැනි ගෙඩි, මස්‌ වැදලි වැනි තත්ත්ව කාන්තාව ශල්‍ය කර්මවලට භාජනය කිරීමේදී ඉතා විමසිලිමත් විය යුතු තත්ත්වයන් වේ. මෙසේ කළ යුත්තේ කාන්තාවන්ගේ සඵලතාවය ආරක්‍ෂා කරගත යුතු නිසාය.

ගර්භනී තත්ත්වයට පත් වූ කාන්තාවන්ට ගැබ්ගෙලෙහි දිග වැදගත් වන්නේ ගබ්සාවලින් වැලකීම සඳහාය. විශේෂයෙන්ම ගැබ් ගෙලෙහි දිග ඉතා වැදගත් වන්නේ "ප්‍රී මැචුවර් බර්ත්" හෙවත් මාස 9 කට අඩු දරු උපත් සිදුවීම වලක්‌වා ගැනීම සඳහා ය.

ගැබ්ගෙලෙහි ඇතිවන ලිහිල් බව සහ ගැබ්ගෙලෙහි ඇති වෙනත් අඩුපාඩුකම්වලින් මිදීම සඳහා වෛද්‍යවෙරුන් විසින් ගැබ්ගෙලට මැහුමක්‌ යොදන අතර එය "සර්වයිකල් සූචර්" නැතහොත් "ශිරෝත්කා සූචර්" ලෙස හඳුන්වයි. මෙසේ කිරීමෙන් ගැබ්ගෙලෙහි ඇතිවන ලිහිල් තත්ත්වය මඟහරවා ගත හැකියි.

අද වනවිට ගැබ්ගෙලෙහි ඇතිවන පූර්ව පිළිකා තත්ත්වයන් සොයා ගැනීම සඳහා "කොල්පොස්‌කොපි" නමැති පරීක්‍ෂණය භාවිත කරන අතර ඒ මඟින් ගැබ්ගෙලහි පූර්ව පිළිකා තත්ත්වය තිබෙනා ස්‌ථානය හරිහැටි හඳුනා ගත හැකිය. මේ තුළින් විශාල ශල්‍යකර්මයක්‌ නොකොට සුළු ශල්‍යකර්මයක්‌ මඟින් මෙවැනි පිළිකා තත්ත්වයන් ඉවත් කර ගත හැකියි.


ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
නලින්ද රොද්‍රිගු

Sunday, December 5, 2010

සම අතුල්ලන්නේ බලාගෙන !

මුහුණේ සම සහ සිරුරේසම ස්‌ක්‍රබ් කිරීම සුදුසුද?

ස්‌ක්‍රබ් යන වචනයේ තේරුම වන්නේ යම්කිසි රළු දෙයක්‌

භාවිත කරමින් තදින් ඇතිල්ලීමයි. අපේ සමේ ව්‍යqහය පිළිබඳ සලකා බැලීමේදී අපිචර්මයේ ඉහළම කොටස අපි විද්‍යාත්මක ලෙස කොරොස්‌ථරය ලෙස හඳුන්වයි. මෙය ඉතාම මෘදු සැඟවූ වලවල්, හිල් නොමැති සුමට ස්‌ථරයකි. ස්‌ක්‍රබ් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ යම්කිසි තැනක කුණුවැනි ද්‍රව්‍ය බැඳී පවතී නම් ඒවා ඉවත් කිරීමකි. උදාහරණයක්‌ වශයෙන් ලිපේ තියන ලද බඳුනක යම් කිසි වෑංජනයක්‌ පතුලේ බැඳී තිබෙනවා නම් එය ඉවත් කිරීමට ඝන ද්‍රව්‍යයකින් අතුල්ලයි. ස්‌ක්‍රබ් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ එවැන්නකි. නමුත් අපේ සමේ එවැනි දෙයක්‌ සිදුවිය නොහැකියි. සමෙහි කුණු, දහදිය, වෙනත් අපද්‍රව්‍ය සමට තදින් ඇලී තිබීමක්‌ හෝ බැඳී තිබීමක්‌ සිදුනොවේ. එය වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු කර තිබේ. එම නිසා ස්‌ක්‍රබ් එකක්‌ හෙවත් ඝන ද්‍රව්‍ය යොදා ඇතිල්ලීමක්‌ අපේ සමට කිසිවිටෙකත් අවශ්‍ය නොවේ. එය ඉතාම වැරදි ක්‍රියාවකි.


බොහෝදෙනා ස්‌ක්‍රබ්කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ මැරුණු සම ඉවත් කර ගැනීමයි. මෙහි සත්‍යතාවක්‌ තිබෙනවාද?

මැරුණු සම ස්‌වභාවිකවම ඉවත් වේ. එය අමුතුවෙන් ඉවත් කිරීමක්‌ අවශ්‍ය නොවේ. මැරුණු සම ඉවත් කිරීම සඳහා ස්‌ක්‍රබ් කිරීම මඟින් ඊටත් වඩා හානියක්‌ සමට වන බව බොහෝ තරුණියන් නොදනියි. මෙය මානසික ඇබ්බැහිවීමක්‌ ලෙස හඳුන්වාදිය හැකියි. ස්‌ක්‍රබ් කිරීම මඟින් අපේ සම අසාමාන්‍ය ලෙස උද්දීපනය වීමක්‌ සිදුවේ. සම උද්දීපනයවීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඇමලොයිඩ් නමැති රසායන ද්‍රව්‍ය සම මතුපිට තැන්පත්වීමට පටන්ගනී. ඇමලොයිඩ් නමැති රසායන ද්‍රව්‍ය කළුපාට ස්‌ථරයක්‌ වශයෙන් සම මතුපිට තැන්පත් වේ. මෙය සියලුදෙනාටම සිදුනොවුනත් ඇතැමෙකුට සිදුවන තත්ත්වයකි. ඒ සඳහා ජානමය බලපෑමක්‌ ද තිබේ. පරම්පරාවෙන් පරම්පරාවට ඇමලොයිඩ් නිපදවීමේ හැකියාව ගමන් කරයි. මෙවැනි කෙනෙකු සම ස්‌ක්‍රබ් කිරීමේදී ඇමලොයිඩ් ස්‌ථරයක්‌ සම මතුපිට තැන්පත් වේ. ඇතැමෙකුට මෙය බිබිලි ආකාරයට ඇති වේ. එය අපි ලයිකන් ඇමලොයිඩෝසිස්‌ ලෙස හඳුන්වයි. තුනියට සම මතුපිට ඒකාකාර ස්‌ථරයක්‌ ලෙස ඇතිවන ඇමලොයිඩ් අපි මැකියුලර් ඇමලොයිඩෝසිස්‌ ලෙස හඳුන්වමු. කුමන ක්‍රමයකට හෝ ඇමලොයිඩ් නමැති රසායනිකය සම මතුපිට තැන්පත්වීමේදී ඒවා ඉවත් කිරීම අතිශයින්ම දුෂ්කර කාර්යයකි. ප්‍රතිකාර කළ ද ඉතා සාර්ථක ප්‍රතිචාර නොදක්‌වයි. ප්‍රතිකාර මඟින් පැහැය අවම කරගැනීම පමණක්‌ කළ හැකියි.


ස්‌ක්‍රබ් කිරීම මඟින් සමට ඇතිවන තවත් අහිතකර ප්‍රතිඵල තිබේද?

ස්‌ක්‍රබ් කිරීම මඟින් සම මතුපිට ඇති සමට හිතකර සහ අවශ්‍ය වන බැක්‌ටීරියා වර්ග ඉවත් වීමක්‌ සිදුවේ. සමට හිතකර බැක්‌ටීරියා මඟින්, ශරීරයට බාහිරින් ඇතුළුවන අහිතකර බැක්‌ටීරියාවන් සහ දිලීර වර්ග ඇතුළුවීම වලක්‌වයි. දිගින් දිගට සම ස්‌ක්‍රබ් කරන්නට යාමෙන් සමෙහි පවතින ස්‌වභාවික ආරක්‍ෂක යාන්ත්‍රණය දුර්වල වේ. එයින් අපට හානියක්‌ සිදුවේ. සම රළු ද්‍රව්‍ය යොදා ඇතිල්ලීමෙන් හැමවිටම අවාසියක්‌ මිස වාසියක්‌ සිදුනොවන බව රූපලාවණ්‍ය ක්‍රම පිටුපස දුවනා යුවතියන් සහ වැඩිහිටි කාන්තාවන් දැන සිටීම ඉතා වැදගත් වේ.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

මොකක්‌ද මේ ආඝාතය

සෑම හයදෙනෙකුගෙන්ම එක්‌ අයෙකුට අවදානම ගෙනෙන ආඝාතය ඔබගෙන් සමහරෙක්‌ තව ම හිතනවා ඇති. ආඝාතය කියන්නේ රෝගී තත්ත්වයක්‌. සෑම හය දෙනෙකුගෙන්ම එක්‌ අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ මෙම රෝග තත්ත්වයට ගොදුරු විය හැකි බව සොයාගෙන තිබේ.

ආඝාතය යනු රෝග ලක්‌ෂණ රාශියකින් සමන්විත වූ බෝ නොවන රෝග ගණයට අයත් වන රෝගයක්‌. සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි අංශභාගය ලෙස හඳුන්වන්නෙත් මෙයයි. මෙහි රෝග ලක්‌ෂණ ලෙස ශරීරයේ සිදුවන අසාමාන්‍යතාවන්, සුළු හිරිවැටීමක්‌ වැනි දේ පෙන්වා දෙන්න පුළුවන්. ආඝාතය නිසා මරණය පවා සිදුවිය හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්‌තෝබර් 29 වෙනිදා ලෝක ආඝාත දිනය (උදරකා sඑරදනැ daහ) ලෙස නම් කර තිබේ. ලෝක ආඝාත සංවිධානය මඟින් බලාපොරොත්තු වන්නේ රෝග තත්ත්වය හරි හැටි හඳුනාගැනීම, ප්‍රතිකාර මඟින් රෝග නිවාරණය සහ එවැනි රෝගීන් පුනරුත්තාපනය කිරීම සහ දීර්ඝකාලිනව උදව්කිරිමයි.

අපගේ මොළයට රුධිරය සපයන රුධිර වාහිනී ජාලගතව පවතින අතර විවිධ හේතු නිසා මෙම රුධිර නාල තුළ ශරීරයට අහිතකර මේද වර්ග ලෙස හඳුන්වන කොලෙස්‌ටරෝල් තැන්පත්වීමෙන් එම නාල අවහිරවීම හෝ රුධිරය ගමන් ගන්නා සිදුර කුඩාවීමක්‌ වේ.

මෙහිදී රුධිර වාහිනී අවහිරවීම නිසා මොළයේ සමහර කොටස්‌වලට රුධිර සැපයීම අඩුවීම හෝ නතරවීම විය හැකියි. මෙවැනි කෙනෙකුට ආඝාතය ඇතිවිය හැකියි. මෙම ආකාරයට සියයට අසූපහක්‌ පමණ ආඝාතයට ගොදුරු වේ.

රුධිර වාහිනි අවහිර වූ ස්‌ථාන දුර්වල වී පුපුරා යාමෙන් මොළයේ ඇතිවන රුධිරවහනය නිසාද ආඝාත තත්ත්වය ඇතිවේ. මෙවැනි තත්ත්වයට ගොදුරු වන්නේ රෝගින්ගෙන් සියයට පහළොවක ප්‍රමාණයකි.

මේ සියලු අවස්‌ථාවලින් සිදුවන්නේ මොළයේ යම් කොටසක ක්‍රියාකාරිත්වයට බාධා පැමිණිම හෝ අඩපණ වීමයි. අපගේ ශරීරයේ සියලු කොටස්‌ පාලනය කිරීම සඳහා විවිධ වූ විශේෂිත අංශ අපගේ මොළය තුළ වේ. මොළයේ එක්‌ එක්‌ කොටසේ සිදුවන රුධිර නොලැබීම නිසාවෙන් එම කොටස මඟින් පාලනය කරන ශරීර අංගයේ අවයව, ඉන්ද්‍රියන් දුර්වලවීම එසේත් නොමැති නම් පණ නැතිවීම වේ.

මෙම රෝගයේ අවස්‌ථා 02 ක්‌ හඳුනා ගත හැකියි.



සුළු ආඝාත තත්ත්වය

රෝග ලක්‌ෂණ පැය 24 ක්‌ ඇතුළත යථා තත්ත්වයට පත්වුවහොත් එය සුළු ආඝාත තත්ත්වයක්‌ හෝ තාවකාලිකව සිදු වූ රුධිර නොලැබී යාමක්‌ ලෙස හඳුනාගත හැකිය. මෙම රෝගී තත්ත්වයේදී ඉතා ඉක්‌මණින් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මඟින් පූර්ණ ලෙස අංශභාග තත්ත්වය ඇති වීමෙන් මිදිය හැකියි.



සුළු ආඝාතයේ රෝග ලක්‌ෂණ

* අතක පයක හෝ මුහුණේ ඇතිවන හිරිවැටීම

* එකවර ඇතිවී නැතිව යන ක්‌ලාන්ත ගතිය

* කථා කිරිමේ හෝ තේරුම් ගැනීමේ අපහසුතා

* ඇසක සිදුවන පෙනීමේ අඩුවීම හෝ නොපෙනී යාම

* හඳුනාගත නොහැකි හේතුවක්‌ නිසා ඇතිවන තද හිසරදය

* ශරීරයේ සමබරතාව බිඳීයාම

* ඇවිදීමේදී අපහසුතා ඇතිවීම

(මෙම රෝග ලක්‌ෂණ හදිසියේ පහළ වී පැය 24 ක්‌ ඇතුළත ක්‍රමයෙන් නැතිවී යා හැකිය.)



පූර්ණ ආඝාතයේ රෝග ලක්‌ෂණ

* ශරීරයේ අංශයක හෝ කොටසක පණ නැති වී යාම

* ඇස්‌ නොපෙනී යාම

* එක්‌ කනක හෝ කන් දෙකෙහිම ඇති වන ශ්‍රවණ ආබාධ

* සමෙහි ඇතිවන ආසාමාන්‍ය සංවේදනා හෝ හිරිවැටීම

* ඇවිදීමේදී ඇතිවන අපහසුතා

* මුහුණේ හෝ කට පැත්තකට ඇද වී යාම

* හඩ පිටවීම දුර්වල වීම

* හෘදයාබාධ ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවිරහිතවීම

* ශ්වසන අපහසුතා

* සදාකාලික ආබාධිත තත්ත්වය හෝ මරණය (කලින් සුළු ආඝාත ලක්‌ෂණ 1 ක්‌ හෝ කිහිපයක්‌ දීර්ඝ කාලීනව පැවතීම පසුකලෙක පූර්ණ කාලීන ආඝාත රෝගයට හේතු විය හැකියි.





ආඝාතය රෝගය සඳහා

බලපෑ හැකි සාධක

* අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ඉහළයාම

* දුම්පානය

* ගනු ලබන අහිතකර ආහාර වර්ග (ක්‌ෂණික කෑම, විවිධ රසකාරක)

* ශාරිරික ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලින් ඉවත්වීම

* දියවැඩියාව

* ස්‌ථුලතාවය

* මානසික ආතතිය

* වයස්‌ගතවීම සහ ජානගත සාධකයන්

කෙනෙකු වයස්‌ගතවීම සහ පවුලේ කෙනෙකුට කලින් මෙම රෝගය වැළඳී තිබේ නම් ඉහත අපි සඳහන් කළ රෝගවලින් ඉවත්වීම සහ වැරදි පුරුදුවලින් ඉවත්වීම ආඝාතය සෑදීමේ අවධානමෙන් ඔවුන් ඉවත් කරයි. වයස අවුරුදු 60 ඉක්‌ම වූ ජනතාවගේ දෙවැනියට වැඩි මරණ සංඛ්‍යාවක්‌ සිදුවන්නේ ආඝාත රෝගයෙන් බව පෙන්වා දේ. වසරකට ලෝක ජනගහනයෙන් මිලියන හයකට ආසන්න ප්‍රමාණයක්‌ ආඝාතයෙන් මියයයි.



ආඝාත රෝගය

වලක්‌වා ගැනීම සඳහා

* ඔබගේ රුධිර පීඩනය මැන බලා නියමිත පරාසය තුළ පවත්වා ගැනීම

* දුම් සහ මත්ද්‍රව්‍යවලින් ඉවත්වීම

* ගනු ලබන අහිතකර ආහාර, ක්‌ෂණික ආහාර, සීනි, ලුණු සහ තෙල්වලින් හැකි තරම් ඉවත්වීම, නැවුම් එළවළු, පලතුරු ආහාර වේලට එකතු කර ගැනීම

* ශාරිරික ව්‍යායාමවල යෙදීම

* උසට සරිලන බර පවත්වා ගැනීම

* මනස සැහැල්ලුව තබා ගැනීම

පෙර ආඝාත තත්ත්ව හෝ සුළු ආඝාත ලක්‌ෂණ දැනී තිබෙනවා නම් ඉක්‌මනින් රෝහල කරායාම

මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝග ලක්‌ෂණ පහළ වී රෝහල වෙත පැමිණෙන රෝගියා මොළයේ සී.ටී (Cගඔ) ස්‌කෑන් පරික්‌ෂණයකට භාජනය කරන අතර මෙහිදී රුධිර නාල අවහිරවීමක්‌ ද නැත්නම් නාල පුපුරායාමක්‌ ද යන්න සොයා බලා ප්‍රතිකාර ආරම්භ කෙරේ. මෙම ප්‍රතිකාර කිරිම කරන අතරේ ඔවුන් පුනරුත්ථාපනය කිරිමේ ප්‍රතිකාරයන් ද ආරම්භ කර තිබේ.

ලෝක ආඝාත දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණ මාලාව ඇසුරෙනි.

ගැබිනි මවට ප්‍රෙෂර් නම්..

අධික රුධිර පීඩනය යනු සාමාන්‍ය පුද්ගලයෙකු තුළ සෞඛ්‍ය ගැටළු ගණනාවක්‌ ඇති කළ හැකි තත්ත්වයකි. මෙම තත්ත්වය ගර්භණී කාන්තාවන් තුළ ඇති වූ විට මෙවැනිම සෞඛ්‍ය ගැටළු වඩා තදින් පෙන්නුම් කරයි.


නීරෝගි ගර්භණී කාන්තාවකගේ ගර්භණී සමයේ මැද භාගයේදී ඇයගේ රුධිර පීඩනය ඉහළ යාම බොහෝ විට ගර්භණී සමයට පමණක්‌ සීමා වේ. මෙම තත්ත්වය බොහෝ විට පළමු පිළිසිඳ ගැනීමේදී බහුලව දක්‌නට ලැබේ. මෙම රුධිර පීඩනය වැඩිවීම ගර්භයේ මුල් අවධියේදීම සිදු නොවේ. නමුත් මුල සිටම පූර්ව ප්‍රසව සායනයකට සහභාගි වන මවකගේ මෙම තත්ත්වය මාස 5 ක්‌ පමණ වන විට හඳුනාගත හැකිවේ. මෙයට හේතුව වන්නේ රුධිර පීඩනය වැඩිවීමට පටන් ගැනෙන්නේ මෙම අවධියේදී වීමයි. ඉදිමුම මෙම තත්ත්වයේදී ඇති වන තවත් ලක්‌ෂණයක්‌ වන නමුත් සාමාන්‍ය ගර්භණී තත්ත්වයේදීද ඉදිමුම දැකිය හැකි බැවින් ඉදිමුම ඇති වූ පමණින් අධික රුධිර පීඩනය ඇති බව සැක කළ නොහැක. නමුත් පූර්ව ප්‍රසව සායනයේදී සිදු කරනු ලබන පරීක්‌ෂණ සහ රුධිර පීඩනය මැනීම මෙම තත්ත්වය හඳුනා ගැනීමට ඉතාම වැදගත් වේ.


ගැබ් ගැනීමට පෙර සිටම අධික රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවන්ගේ ද වෙනත් සංකූල තත්ත්වයන් තිබිය හැක. මේ අතරින් බහුතරයකගේ අධික රුධිර පීඩනයට පසුබිම් වූ හේතුවක්‌ නොමැති විය හැක. නමුත් වෙනත් පසුබිම් රෝග ආශ්‍රිතව අධික රුධිර පීඩනය ඇති වන අවස්‌ථා ඇත. එනම් වකුගඩු රෝග, රුධිර නාල ආශ්‍රිත ගැටළු, හෝමෝන ආශ්‍රිත රෝග වැනි තත්ත්වයන්ය. මෙවැනි කාන්තාවන් ගැබ් ගැනීමට පෙර එම රෝග සහ ඒ ආශ්‍රිත අධික රුධිර පීඩන තත්ත්වයන් නිසි ලෙස පාලනය කරගත යුතුය. කෙසේ වෙතත් අධික රුධිර පීඩනය ගර්භණී සමයේදී මවගේ සෞඛ්‍යයට කිහිප ආකාරයකින් අහිතකර තත්ත්වයන් ඇති කරයි.


මවගේ රුධිර පීඩනය වැඩිවීම ස්‌නායු පද්ධතියට ඇති කරන බලපෑම් මගින් ඇයගේ මොළයේ ලේ ගැලීම්, ස්‌නායු ආබාධ, වලිප්පුව වැනි තත්ත්වයන්, සිහිමුර්ජාවීම් පවා ඇති විය හැක. අක්‌ෂි ආබාධ ඇති වීමෙන් අන්ධභාවය ඇති වන අවස්‌ථා ද ඇත. වෙනත් හෘද රෝග, අක්‌මාව ආශ්‍රිත අසාධ්‍ය තත්ත්වයන් සහ වකුගඩුවලට සිදුවන හානීන් ද ඇත.


ගර්භණී සමයේදී ඇති වන අධි රුධිර පීඩන තත්ත්වය හානිකර වන්නේ මවගේ සෞඛ්‍යයට පමණක්‌ නොවේ. ළදරු කළලයට සිදු වන හානිය තවත් බරපතල විය හැක. කළලයේ වැඩීම බාල වීමෙන් අඩු උපත් බරකින් යුත් දරුවන් බිහි වීමට අමතරව නොමේරූ ළදරුවන් ඉපදීමෙන් බොහෝ කරදරකාරී තත්ත්වයන් ඇති විය හැක. මෙම තත්ත්වය තදින්ම ඇති විට කළලයේ වැඩීම අතරමඟ නතර වන අවස්‌ථා ඇත. ඉහත හේතූන් මත පූර්ව ප්‍රසව සායනයන්හිදී කෙරෙන පරීක්‌ෂණ සහ සොයා බැලීම් ඉතා වැදගත් වේ. නිසි කලට ඒවාට සහභාගිවීම මවගේ යුතුකම වේ. සායනයේදී රුධිර පීඩනය වැඩි බව තහවුරු වූ විට රෝහල් ගත කර එය පාලනය කිරීම සිදු වේ. මේ සඳහා බොහෝවිට භාවිත වන්නේ පෙති වශයෙන් ලබාදෙන ඖෂධයන්ය. ඉතා දරුණු ත්ත්ත්වයකදී එන්නත් ලබාදීම සිදු වේ. රුධිර පීඩනය පාලනය වූ පසු රෝහලින් පිට කර සායනයට යොමු කෙරේ. කාර්ය බහුල මවක්‌ නම් රෝහලේ දී ලැබෙන විවේකය වැදගත්ය. මෙම තත්ත්වය ඇති විට මානසික හා කායික විවේකය ඉතා වැදගත්ය. එබැවින් මවකට මෙම තත්ත්වයට ගැළපෙන අයුරින් තම දින චර්යාව වෙනස්‌ කරගැනීම වැදගත්ය. වඩාත්ම වැදගත් වන්නේ තම වෛද්‍යවරයාට ලබා දෙන සහයෝගයයි. දරු ප්‍රසූතියෙන් පසු රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්විය හැක. එසේ වේ නම් වෛද්‍ය උපදෙස්‌ මත ඖෂධ නතර කළ හැක. මේ සඳහා දරු ප්‍රසූතියෙන් සති 6 කට පසු සායනයට පැමිණ වෛද්‍යවරයා මුණගැසීම වැදගත්ය.


ඉදිරි පවුල් සැලසුම් සම්බන්ධව වෛද්‍ය උපදෙස්‌ ද ලබාගත යුතුය.


වෛද්‍ය
චම්පා නෙල්සන්