Thursday, November 13, 2014

සිරුරේ වැඩි බර අඩුකරගෙන දීර්ඝායු ලබා ගන්නා හැටි

ඔබ දිනකට කොපමණ වේලාවක්‌ ශාරීරික ව්‍යායාම වල යෙදෙනවාද? මෙම පැනය හමුවේ බොහෝ දෙනා නිරුත්තර වෙති. අනේ අපිට ව්‍යායාමවල යෙදෙන්න වේලාවක්‌ නැහැ.. සමහරු ඊට පිළිතුරු ලෙස පවසති.
එලෙස පිළිතුරු දෙන පුද්ගලයන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධික තරබාරුව වැනි රෝග වලින් පීඩා විඳිමින් වෛද්‍ය සායනවල කෙතරම් කාලයක්‌ ගත කරනවාද?
වෛද්‍ය පරීක්‍ෂණ සඳහා කෙතරම් මුදලක්‌ වැය කරනවාද?
වර්තමානයේ අප බොහෝ දෙනා ගතකරන්නේ අවිවේකී දිවියකි. අලුයම 4 ත් 5 ත් අතර අවදි වී රාත්‍රි 11 ත් 12 ත් අතර වනතුරු ගෙදර දොරේ රැකියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙති. ආහාර පාන ගන්නේ වැඩ රාජකාරිවල නිරත වෙන අතරය. එසේත් නැතිනම් වාහනයේ ගමන් කරන අතර තුරය.
මෙම අවිවේකී බව නිසා වර්තමානයේ අප බොහෝ දෙනාගේ ආයු කාලය අවුරුදු 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇත.
අතීතයේදී ශ්‍රී ලාංකික කාන්තාවකගේ ආයු කාලය අවුරුදු 90 ක්‌ද පිරිමියකුගේ ආයු කාලය අවුරුදු 70 ක්‌ද පැවතුනි. නමුත් වර්තමානයේ කාන්තාවකගේ ආයු කාලය වයස අවුරුදු 68 ක්‌ සහ පිරිමියකුගේ ආයුකාලය වයස අවුරුදු 60 ක්‌ දක්‌වා අඩුවී ඇත.
මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ නිසි පෝෂණයෙන් යුත් ආහාර පාන නොගැනීම සහ නිසි ව්‍යායාම වල නොයෙදීම නිසා දියවැඩියාව, ගැස්‌ට්‍රයිටීස්‌, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු රෝග වැනි රෝග වලට ගොදුරුවීමෙන් අකාලයේ මරණයට පත්වීමය.
දීර්ඝායු ලැබීමට
වයස අවුරුදු 70 - 80 පමණ දක්‌වා නිරෝගීව ජීවත්වීම සඳහා අප දිනපතා අඩුම වශයෙන් පැය භාගයක්‌වත් ව්‍යායාමවල යෙදිය යුතුය. ඒ සඳහා ඇවිදීම, දිවීම හෝ ව්‍යායාම උපකරණ භාවිත කළ හැකිය.
උදැසන ව්‍යායාම වල යෙදීමට පෙර කොළ කැඳ වීදුරුවක්‌ හෝ පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කළ යුතුය.
සතියේ දින හයක්‌වත් කොළ පැහැති එළවළු පලතුරු ආහාරයට ගත යුතුය.
රාත්‍රී 7.00 න් පසු ප්‍රොaටීන් අධික ආහාර වන මස්‌, මුං ඇට, කවුපි වැනි ආහාර වර්ග ගැනීම අවම කළ යුතුය.
ආහාර පාන පාලනය සහ ව්‍යායාම මගින් මාසයකට තමාගේ ශරීරයේ පවතින අධික බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 2.7 ත් 3 ත් අතර ප්‍රමාණයකින් අඩුවේනම් එය නිරෝගී ලක්‍ෂණයකි.
වර්තමානයේ බොහෝ දෙනාගේ ශරීර බර වැඩිවන්නේ ආහාරපාන නිසාම නොව හෝමෝන ගැටලු නිසාද බර වැඩිවේ. විශේෂයෙන්ම කාන්තාවන්ගේ බර අඩුවීම හෝ වැඩිවීමේදී මේ පිළිබඳවත් අවධානය යොමුකළ යුතුය. එහිදී බර වැඩිවන්නේ ආහාර පාන ගැනීමේ ගැටලුවක්‌ නිසා නොව හෝමෝන ගැටලුවක්‌ නිසාය.
එම හෝමෝන ගැටලු සඳහා ප්‍රතිකාර ලබාගත යුතුය.
බර අඩු කරගැනීම සඳහා රාත්‍රියට පලතුරු ආහාරයට ගැනීම පමණක්‌ නොකළ යුතුය. ඉන් ගැස්‌ට්‍රයිටීස්‌ සහ දියවැඩියාව වැනි රෝග තත්ත්ව වලට ගොදුරු විය හැකිය.
ඔබගේ ශරීරයේ උසට ගැලපෙන බර ප්‍රමාණය හඳුනාගැනීම ශරීරයේ උස සෙන්ටිමීටර් වලින් මැන ඉන් 100 න් අඩුකිරීමෙන් දැනගත හැකිය.
දිනකට පානය කළ යුතු ජලය කෝප්ප ප්‍රමාණය ඔබගේ බර කිලෝ ග්‍රෑම් වලින් ගෙන එය 7 න් බෙදූවිට ලැබෙන අගය වේ. එම අගයට සමාන මිලිලීටර් 250 ක්‌ ජලය කෝප්ප ප්‍රමාණයක්‌ උදේ දහවල් සහ රාත්‍රිය යන දවස පුරා පානය කිරීමෙන් සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය ලබාගෙන තිබහ ඇතිවීම වලක්‌වාගත හැකියි.
මෙහිදී ඔබ දිනකට පානය කරන තේ, කෝපි, සිසිල් බීම වැනි පානයන් ජලය වෙනුවට ආදේශ කළ නොහැකිය. එවැනි පාන වර්ග ගැනීමෙන් දිනකට ශරීරයට අවශ්‍ය පිරිසිදු ජලය කෝප්ප ගණනද වැඩිවේ. ඔබ වැඩිවේලාවක්‌ හිටගෙන සිටින්නේ නම් විනාඩි 2-3 ත් අතර කාලයකදී දණහිස්‌ දෙක තත්ත්පර කිහිපයක්‌ නවමින් හිටගෙන සිටින ඉරියව්ව වෙනස්‌ කළ යුතුය. එවිට ස්‌නායු පද්ධතියට මතුවන අපහසුතා මහහරවා ගත හැකිය. එවිට හිටගෙන සිටීම නිසා මතුවන කොන්දේ වේදනාවද මගහරවා ගත හැකිය.
එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ
චාලක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අසංග විජයරත්න

No comments:

Post a Comment