Tuesday, December 23, 2014

රෝග රැසක්‌ සැඟවී ඇති කාන්තා තරබාරුව

ස්‌ථූල භාවය හෙවත් තරබාරුව වර්තමානයේ ශ්‍රී ලාංකික කාන්තාවන් බහුතරයකට මතුව ඇති ගැටලුවකි. මෙම ගැටලුව කොතෙක්‌ දුරට සංකීර්ණ වී ඇත්දැයි කියා පැහැදිලි වන්නේ වයස අවුරුදු 7-8 පමණ වියේ සිට ගැහැනු දරුවන් පවා ස්‌ථූල භාවයට ගොදුරුව සිටීමය.
කාන්තාවට ස්‌ථූල භාවය ඉතා බරපතළ අයුරින් බලපාන්නේ ඉන් ඔවුනගේ ස්‌ත්‍රී හෝමෝන පද්ධතිය අක්‍රමවත් වන බැවින් එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ඔවුන් මද සරුභාවයට පත්වීමය. එනිසා මව් පදවිය ලැබීමට උරුමකම් කියන කාන්තාවන් අධික ස්‌ථුල භාවය නිසා එම උතුම් වරම අහිමි කර ගැනීමට තරම් අවාසනාවන්ත විය යුතු නැත.
කාන්තාවන් ස්‌ථූල භාවයට පත්වීමට හේතු
වර්තමානයේ ශ්‍රී ලාංකික ගැහැනු දරුවන් සහ කාන්තාවන් ස්‌ථූල භාවයට පත්වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔවුනගේ වැරැදි ආහාර රටාවන්ය. අධික කැලරි සහිත ආහාරපාන වන පැණි රස කෑම, ක්‍ෂණික ආහාරපාන, මේදය අධික ආහාර දිනපතා බහුලව ගැනීමට හුරුවීම නිසා කාන්තාවෝ ඉතා පහසුවෙන් ස්‌ථූලතාවයට පත්ව සිටිති.
මෙලෙස ස්‌ථූලතාවයට පත්වීමෙන් ඔවුනගේ ඊස්‌ට්‍රජන්, ප්‍රොජෙස්‌ටරෝන් හෝමෝන පමණක්‌ නොව ඉන්සියුලින්, තයිරොයිඩ් හෝමෝන ඇතුළු සියලුම හෝමෝන පද්ධතිය අසමතුලිතතාවයට පත්වේ. එහි ප්‍රතිඵලය වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් අධික බව, හෘද රෝග, අක්‌මා රෝග, පිළිකා, ඩිම්බකෝෂ ආශ්‍රිත රෝග ඇතුළු රෝග රැසකට ගොදුරු වීමය.
ස්‌ථූල බව පාලනය
ස්‌ථූල බව පාලනය කර ගැනීම සඳහා ඇත්තේ ඉතා පහසු ක්‍රම දෙකකි. එනම් ආහාර පාලනය සහ ව්‍යායාම කිරීමය. නමුත් වර්තමානයේ බොහෝ කාන්තාවෝ මෙම පහසු ක්‍රම දෙක නිවැරැදි අයුරින් භාවිතා කිරීමට නොදන්නාකම නිසා ස්‌ථූල බව පාලනය කරගත නොහැකිව ලතවෙති.
ස්‌ථූල බව පාලනයට කියා දවසේ ප්‍රධාන ආහාර වේල් තුනෙන් එකක්‌ හෝ දෙකක්‌ අඩුකර නිරාහාරව සිටිති. ඉන් සිදු වන්නේ ශරීරය විසින් ආහාර ගබඩා කර ගැනීමට යොමු වීමය. සිරුරට නිසි ලෙස ආහාර නොලැබෙන විට ඊට මුහුණදීම සඳහා ශරීරය විසින්ම ආහාර ගබඩා කර ගැනීමකට යොමුවේ. එහි ප්‍රතිඵලය වන්නේ ස්‌ථූලතාවයට පත්වීමය.
ඇතැම් කාන්තාවෝ ස්‌ථූලතාවයට බියෙන් කිරි පානය නොකරති. නමුත් ඔවුහු සීනි සහිත තේ පානය කරති. කාන්තාවන්ට එළකිරි හෝ එළුකිරි ඉතා ගුණදායකය. ඉන් ඔවුනගේ සිරුරට අවශ්‍ය කැල්සියම් පෝෂණය ලබාගත හැකිය. සීනි ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණයක්‌ නොවේ. නමුත් බොහෝ කාන්තාවෝ අත්‍යවශ්‍ය පෝෂණ ද්‍රව්‍යයක්‌ වන කිරි අතහැර දමා සීනි හැඳි දෙක තුනක්‌ මිශ්‍රකර තේ පානය කරති.
ස්‌ථූල බව පාලනය සඳහා වර්තමානයේ බොහෝ කාන්තාවන් අනුගමනය කරන ජනප්‍රිය ආහාර පුරුද්දක්‌ වනුයේ රාත්‍රියට පළතුරු කෑමය. නමුත් ආහාර පාලනයේ දී හොඳින් ඉදුණු පලතුරු කෑමෙන් සිදු වන්නේ සිරුරට වැඩිපුර සීනි එකතු වීමය. එනිසා පලතුරු ආහාරයට ගැනීමේදී හොඳින් පැසුණු පලතුරු පමණක්‌ කෑමට ගත යුතුය.
ස්‌ථූල බව පාලනය කිරීම වෛද්‍ය උපදෙස්‌ මත සිදු කළ යුතුය. එහිදී එකිනෙකාගේ වයස, ස්‌ථූල බව සහ ශරීර සෞඛ්‍යය පරීක්‍ෂා කර දිනකට ගත යුතු ආහාර වේල් ගණන තීරණය කරනු ලබයි.
ස්‌ථූල බව පාලනය කිරීමේදී අඩුම වශයෙන් දිනකට ආහාර වේල් පහක්‌වත් ගත යුතුය. එම ආහාර වේල් සඳහා එළවළු, ධාන්‍ය වර්ග වැනි කෙඳි සහිත ආහාර යොදාගනු ලබයි.
ක්‍ෂණික ආහාරපාන, මේදය බහුල සහිත සහ සීනි බහුල ආහාරපාන ගැනීම සීමා කරනු ලබයි.
එබැවින් කාන්තාවන් තරබාරුව හෙවත් ස්‌ථූල බව පාලනය සඳහා නිවැරැදි ක්‍රම අනුගමනය නොකළහොත් සිදු වන්නේ තව තවත් තරබාරු වී අවසානයේ දී මදසරු කාන්තාවන් බවට පත්වීමය.
ප්‍රජනන සෞඛ්‍ය උපදේශිකා
වෛද්‍ය චම්පා නෙල්සන්

No comments:

Post a Comment