Monday, December 8, 2014

රුධිරය පිරිසිදු කරන හාතාවාරිය

 

හාතාවාරිය ශාකය උද්‍යාන අලංකාර පිණිස වගා කරන ඖෂධීය ගුණයෙන් යුක්‌ත අගනා වැළකි. මෙහි උපත නැගෙනහිර මධ්‍යධරණී රටවල සිදු වූ බවත් ක්‍රි. පූ. 200 දී පමණ රෝමවරුන් විසින් වගා කරනු ලැබූ බවත් සඳහන් වේ.
උද්භිද විද්‍යාත්මක නාමය As paragus Race mosus willd නම් විය. කුලය ලෙස Liliacene ලෙසද දෙමළ නාමය කඩාචරි ඉංග්‍රීසියෙන් Wild As paragus යන නම්වලින් හැඳින් වෙන ආයුර්වේදයේ දී ඉතා උසස්‌ ඖෂධීය ගුණයෙන් යුක්‌ත පැළෑටියක්‌ ලෙස සැලකේ.
ලංකාවේ බොහෝ ගෘහ උද්‍යානවල වගාකරනු ලබනු දක්‌නට ඇතිමුත් එහි ඇති ඖෂධීය ගුණය වටහා ගෙන නැත.
වැලක්‌ ලෙසින් දිගට වැවෙන මෙය සිහින් කොළවලින් යුක්‌ත අතු බෙදී ඇත. මුල් වැඩෙන්නේ අලංකාර අල ලෙසිනි. කොළ පැහැති කඳ ත්‍රිකෝණකාර කොටස්‌වලින් සෑදෙයි. වැලේ බඳෙහි කටු දැකිය හැකිය.
මෙහි කොළ කොටා මිරිකා ගත් යුෂ සහල් හා පොල්කිරි සමග මිශ්‍රකර සාදාගත් කැඳ ශරීරගත රෝග රැසකට ගුණදායකය. රුධිරයේ අම්ලතාවය නැති කොට ලේ පිරිසිදු කරන ඖෂධයකි.
හෘදරෝග වාත රෝග හන්දි ඉදිමීම නැති කර ශරීරය සිසිල් කරන ගුණයක්‌ ඇති කරයි. වා පිත් නසයි. ප්‍රජනන ව්‍යqහයට ඉතාමත් ගුණදායක ඖෂධයකි. වාජිකරණයකි. ශුක්‍ර වඩයි. තරුණ බව ඇති කරයි. හෘදයට හිතකරය. මුත්‍රාකාරකය. ශරීරමය දාහය සමනය වේ. මවුකිරි වඩා, ගර්භ දෝෂ නසා ශක්‌තිය වඩයි. මේ ආදී ලෙස හාතාවාරිය කොළ කැඳ ඉතා රසවත් ආහාරයකි.
මෙහි මල් සුදු පැහැති කුඩාය. සුගන්ධවත් මල් පොකුරු වශයෙන් හට ගැනේ. ගෝලාකාර ගෙඩි ඉදුණු පසු රත් පැහැයක්‌ ගනී. එහි එක බීජයක්‌ හෝ දෙකක්‌ තිබිය හැකිය. නිවර්තන උප නිවර්තන වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, නිවර්තන අප්‍රිකාව, ජාවා, ඕස්‌ටේ්‍රලියාව ආදී රටවල දැකිය හැකිය.
ලංකාවේ පහත රට වියළි ප්‍රදේශයද ත්‍රිකුණාමලය, පුත්තලම, යාපනය, බිම්තැන්න, කුරුණෑගල, මිහින්තලය වැනි ප්‍රදේශවල මෙම ශාකය බහුලව දැකිය හැකිය.
මෙම ශාකයෙහි ඇති ඖෂධීය ගුණය ජනතාව දන්නේ ඉතා මඳ වශයෙනි. නගරයේ ගෙවතුවල අලංකාරයට වගා කළ නමුත් ගම්බද ජලය නොරැඳෙන වැලි සහිත මෘදු ලෝම හියුමස්‌ මිශ්‍ර පසෙහි හොඳින් වැඩේ.
මෙහි වර්ග දෙකක්‌ දැකිය හැක. එකම ස්‌වරූපයෙන් යුක්‌ත විශාල පඳුරු ලෙස වැවෙන වැලෙහි අල මුල හා සමානව දිගෙන් යුක්‌තය. කුඩා පඳුරක්‌ ලෙස පිහිටි වැලේ මලෙහි ශාඛා කඳන් අඩුය. එසේම එහි මුල් දිගට නොවැඩී පඳුර සමීපයේම බෝල බෝල අලංකාර අල තිබේ. මෙම වර්ගය ඉතා අඩුය.
මෙම වැලෙහි මල් වියළා කරපිංචා කොළ කූණිස්‌සන් වැනි දෙයක්‌ සමග මිශ්‍ර කර බැදගත් විට ඉතා රසවත් තෙල් බැඳුමකි. මෙම දෙවර්ගයේ අල ආයුර්වේද කසායවලට ගනු ලැබේ. එසේම මෙම අල මිශ්‍රකර ඇදුම රෝග පිළියම් සඳහා යෝග්‍ය ඖෂධ වර්ග නිෂ්පාදනය කරයි.
මෙම වලෙහි අල මෝරා යාම මාස 9 - 12 ත් අතරදී සිදුවේ. එවිට වැල මැරෙයි. පසුව එම අලවලින් නැවත පැළ හටගනී. වැල මැරී ගිය විට මෙහි අස්‌වැන්න ලබන කාලයයි.
හාතාවාරිය අල තම්බා මැද ඇති නාරටිය ගලවා පොත්ත ගලවා දැමූ විට අලංකාර අල විශේෂයකි. මෙම අල මඳක්‌ වියළා දිය සිඳී ගිය විට පැණිවලින් බැදගත් විට ඉතා රස එසේම ගුණයෙන් යුක්‌ත ඖෂධීය ආහාරයකි.
රාත්‍රී නිදිවරා වැඩ කරන අයට ඉතා ගුණාත්මකය.§ ගම්බද ප්‍රදේශවල භික්‍ෂූන් වහන්සේලා නිදිවරා පිරිත් දේශනය කරන අවස්‌ථාවලදී පිරිත් මණ්‌ඩපයට ඇතුළු කරන්නේය. එහි එක කැබැල්ලක්‌ සපා යුෂ උරා ගත් සැණින් උගුර බැරැන්ඩිය පහව මිහිරි කට හඬක්‌ මතු වේ. වර්තමානයේ එසේ පිරිත් මණ්‌ඩපයට සපයන්නේ ඉඟුරු, සූකිරි, සහිත හිරුපියලිය. එයද උගුර පැහැදිලි කර කට හඬ මිහිරි කිරීමට සමත්ය.
මෙය සැකසීමට උපකාර කළ වෛද්‍ය කුසුම් විජයරත්න මහතාට විශේෂ තුති පුද කරමි.
කො. ආ. ගුණසේකර ඇහැළියගොඩ

No comments:

Post a Comment