Sunday, November 21, 2010

බබෙක්‌ ලැබෙන්න ඉන්න මවකගේ පෝෂණය

ගැබිනි සමයේ පෝෂණය සම්බන්ධව කාන්තාවක්‌ දැනුවත් වියයුතු කාරණා ගණනාවක්‌ ඇත. ඉන් විටමින් ඌණතාවය නිසා ඇතිවන නීරක්‌තිය කාන්තාවන් අතර බහුල තත්ත්වයකි. ගර්භනි අවධියේ දී මෙම තත්ත්වය ඉතා බහුලය. ලංකාවේ ගර්භනි මව්වරුන් තිදෙනෙකු අතරින් එක්‌ අයෙක්‌ නීරක්‌තියෙන් පෙළෙන බව දැනට ගණන් බලා ඇත. නීරක්‌තිය හෙවත් ලේ මඳකම ඇතිවීමට හේතු කීපයක්‌ බලපායි. මේ අතුරින් යකඩ ඌණතාවය වැදගත්ම හේතුවකි. යකඩ අඩංගු ආහාර කෑමට ගැනීමෙන් යකඩ ශරිරයට අවශෝෂණය කර ගැනීම සිදුවේ. යකඩ පදාර්ථ අතුරින් "හීම්" නැමැති යකඩ විශේෂය පහසුවෙන් ශරීරයට අවශෝෂණය වේ. මස්‌ සහ මාළු වර්ගවල මෙම යකඩ විශේෂය බහුලව ඇත. තවද, ආහාර ගැනීමේදී සහ පිළියෙල කිරීමේදී සිදු වන අඩුපාඩු නිසා බොහෝ විට ආහාර වල පෝෂණ ගුණය විනාශ වී යයි. ආහාරවල අඩංගු යකඩ පදාර්ථ අවශෝෂණය කරගැනීම පහසු කරන ආහාර වර්ග ද ඇත. එනම් විටමින් සහිත ආහාර (vitamin C) පලතුරු වර්ග, සමහර ධාන්‍ය වර්ග යකඩ උරාගැනීම පහසු කරන අතර ඒවා යකඩ සහිත ආහාරත් සමග කෑමට ගැනීම වඩාත් යෝග්‍යයි. යකඩ උරාගැනිමේ ක්‍රියාවලියට බාධා කරන ආහාර වර්ග තේ, කෝපි, කිරි වැනි පානයන් යකඩ උරාගැනිම අඩු කරන බැවින් ආහාර ගැනීමෙන් පැය 1-2 ක්‌ පමණ පසු වන තෙක්‌ මේවා ගැනීම නුසුදුසුයි. එනම් ආහාර ගැනීමට ආසන්නවම හෝ ආහාර ගැනිමත් සමඟම තේ, කෝපි වැනි පානයන් ගැනිමෙන් ආහාරයේ ඇති පෝෂ්‍ය ගුණය ශරීරයට නොලැබී යයි. ගර්භනි සමයේ දීම මෙන්ම ගැබ් ගැනීමට සූදානම් වන කාලයේදී නිසියාකාර පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර ගැනීමෙන් නීරක්‌තිය වළකාගත හැක. මස්‌, මාළු සහ පලා වර්ග වැනි ආහාර සෑම ආහාර වේලකටම එකතු කර ගැනීම මෙම අවධියේදී සුදුසු වේ.

නීරක්‌තිය ඇති වීමට තවත් හේතු

කොකු පණු රෝගය එක්‌ හේතුවකි. ඒ මගින් ශරීරයේ ලේ අඩු වන අතර මේ හැර කාන්තාවන්ගේ මාස්‌ පතා සිදුවන ඔසප් වීම සමඟ රුධිරය පිට වීමෙන් ශරීරයේ ලේ අඩු කම ඇති විය හැක. අර්ශස්‌ රෝගය මඟිssන්ද ශරීරයේ රුධිරය පිටවීම සිදුවේ. මෙම තත්ත්වයද දිගින් දිගටම ඇතිවන විට නීරක්‌තිය නම් තත්ත්වය ඇති විය හැක. ගැබ් ගැනීමට සූදානම් වන කාන්තාව විශේෂයෙන්ම ශරීරයේ රුධිර ප්‍රමාණය ගැන සැළකිලිමත් විය යුතුයි. ගැබ් ගැනීමත් සමඟම ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය ඉහළ යාමක්‌ සිදුවේ. මීට හේතුව මවගේ අවශ්‍යතාවයන්ද එකතු වීමයි. ආසන්න සිමාවන් තුළදී ගැබ් ගැනීම් සිදුවන විට ශරීරයේ ඇති ගබඩා කරන ලද පෝෂ්‍ය කොටස්‌ මට්‌ටම අඩු වී යයි. මෙවිට මවට සහ මව තුළ වැඩෙන ළදරුවාට අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය නොලැබී යයි. කලලයේ වර්ධනය බාල වේ. මෙවන් අවස්‌ථාවල දරුවාගේ උපත් බර අඩු වේ. ළදරු මරණ සිදුවීමටද මෙය හේතු විය හැක. තවද මවට දරු ප්‍රසූතියත් සමඟ ඇති වන රුධිර වහනය දරාගත නොහැකි වියහැක.

ඉහත හේතූන් නිසා ගර්භනි සමයේ දී නීරක්‌තිය ඇතිවීම වළක්‌වා ගැනීමට සුදුසු සියළු දෑ කළ යුතුයි. එනම් දරුවන් අතර පරතරයක්‌ පවතින අන්දමින් ගැබ් ගැනීම් පාලනය කළ යුතුයි. මේ සඳහා සුදුසු උපත් පාලන ක්‍රම භාවිත කළ යුතුයි. ආහාර ගැනීමේදී සහ පිළියෙළ කිරීමේදී පෝෂණය පිළිබඳව අවබෝධයක්‌ ඇතිව එය කළ යුතුයි. ගැබ් ගැනීමක්‌ සිදු වූ වග දැනගත් විගසම සායනයට ඇතුළු වී නිසි පරීක්‌ෂණ වලට සහභාගි විය යුතුයි. ඒ මඟින් ලේ මඳකමක්‌ ඇත්නම් මුලින් ම හඳුනාගත හැක. යකඩ අඩංගු පෙති ගර්භණී සායනයෙන් නොමිලේ ලබාදෙන අතර මේවා ඉතා අඩු මිලකට පිටතින්ද ලබාගත හැක. මෙම පෙති භාවිතයේ දී ද ආහාර ගැනීමෙන් අනතුරුව තේ, කෝපි වැනි අමතර පානවර්ග නොබොන අවස්‌ථාවක ගත යුතුයි. වඩාත් සුදුසු වන්නේ සවස 6-7 ත් අතර කාලයයි. නීරක්‌තියට ප්‍රතිකාර කරන විට යකඩ වලට අමතරව ෆොලික්‌ අම්ලය, විටමින් ඊ12 යනාදි විටමින් වර්ගද ලබාගත යුතුයි. ෆොaලික්‌ අම්ලය යනු විටමිනයකට සමාන රසායන ද්‍රව්‍යයකි. මෙය මවක්‌ තුළ වැඩෙන දරුවාට සහ දරුවකු දරා සිටින මවට අත්‍යාවශ්‍යම ඖෂධයකි. ළදරු කලලයක්‌ මව තුළ වැඩෙන විට එයට අවශ්‍ය පෝෂණය මවගෙන් උරාගැනීම සාමාන්‍ය තත්ත්වයයි. නමුත් මව තුළ යම් යම් ඌණතාවයන් ඇති විට කලලයට අවශ්‍ය ප්‍රමාණයකට මේවා ලැබෙන්නේ නැත. ළදරු කලලයක ස්‌නායු පද්ධතිය වැඩීම සිදු වන්නේ මුල් දින 20 තුළදීය.

බොහෝ විට මව්වරුන් ගැබ් ගැනීමක්‌ ගැන සැක ඇති කර ගන්නේ ඔසප් වීම පමා වූ විටය. තවත් සති 2 කට පමණ පසු මුත්‍රා පරීක්‌ෂා කිරීමෙන් මෙය තහවුරු කර ගැනීම ඔවුන්ගේ සිරිතය. කණගාටුදායක තත්ත්වය වන්නේ මේ වනවිට කළලයේ දින 20 පසු වී තිබීමය. ෆොලික්‌ අම්ලය පටන් ගැනීමට මේ වන විට පමා වැඩිය. මවගේ ශරීරයේ ෆොලික්‌ අම්ලයේ ඌණතාවක්‌ නොමැති නම් කලලයේ වැඩීමට බාධාවක්‌ නැත. නමුත් මවට ෆොලික්‌ අම්ල ඌණතාවයක්‌ තිබුණහොත් එය මෙම වැඩෙන කලලයට බලපෑමෙන් ස්‌නායු පද්ධතියේ වැඩීම බාල වේ. මෙහිදී එම tube defects නමින් හැඳින්වෙන හිස්‌ කබල සහ කශේරු පද්ධතියේ දුර්වල තත්ත්වයන් ඇතිවිය හැක. මීට අමතරව මොළයේ සහ අනෙක්‌ අවයව වල වර්ධනය ඇණ හිටීමෙන් දරුවා මරණයට පත්වීමට පවා ඉඩ පවතී.

කශේරු පද්ධතියේ ගැටලු ඇති වීමෙන් සුෂුම්නාවේ කොටස්‌ පිටතට පැමිණිය හැක. දරුණුම තත්ත්වයන් යටතේ දරුවාගේ හිස්‌කබලේ වර්ධනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබිය හැක. මීට අමතරව ෆොලික්‌ අම්ලය මවගේ ශරීරයටද මෙම අවධියේදී අත්‍යාවශ්‍යය. වේගයෙන් වැඩෙන සෛල රතු රුධිර සෛල සහ සුදු රුධිර සෛලවල ක්‍රියාකාරිත්වයට මෙම ෆොලික්‌ අම්ලය අවශ්‍ය වේ. ෆොලික්‌ අම්ල බහුලව පවතින ආහාර වන්නේ එළවළු සහ පලා වර්ගය ෆොලික්‌ අම්ලය මෙම එළවළු හා පලා වර්ග සේදීමේදීත් තදින් තැම්බීමේදී විනාශ විය හැක. එබැවින් එළවළු සහ පලා වර්ග කැපීමට පෙර සේදීම කළ යුතුය. අවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ තැම්බීම කළ යුතුය. සලාද ලෙස ආහාරයට ගැනීමෙන් පෝෂණය වැඩි කර ගත හැක. කෙසේ වෙතත් පහසුම සහ සුදුසුම ක්‍රමය වන්නේ ශරීරයට අවශ්‍ය ෆොලික්‌ අම්ල ප්‍රමාණය පෙති වශයෙන් ගැනීමයි. ෆොaලික්‌ අම්ල ඕනෑම ඖෂධ ශාලාවකින් වෛද්‍යවරයෙකුගේ සටහනක්‌ නොමැතිව වුවද ලබාගත හැක. කලලයේ ස්‌නායු පද්ධතියේ වර්ධනයට ෆොලික්‌ අම්ලය අවශ්‍ය වන නමුත් වෙනත් ජානමය හෝ පාරිසරික හේතූන් මත ස්‌නායු ආබාධ ඇති වන අවස්‌ථා ද ඇත. සමහර ඖෂධ වර්ග ගැනීමෙන් නීරක්‌තියට තුඩු දෙන තත්ත්වයන් ඇතිවිය හැක. යම් ඖෂධ වර්ගයක්‌ දිගුකලක්‌ භාවිතවන්නේ නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය.


වෛද්‍ය
චම්පා නෙල්සන්

No comments:

Post a Comment