Sunday, November 28, 2010

ගැබිනි මවට දියවැඩියාව හැදුණොත්..

පසුගිය සති කීපය තුළ දියවැඩියාව සම්බන්ධව බොහෝ වැඩසටහන් පැවැත්විය. මීට හේතුව දියවැඩියා දිනය පසුගිය දිනෙක යෙදී තිබීමයි. දියවැඩියාව වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ සැළකෙන රුධිරයේ සීනි වැඩි වීම ගර්භනී සමයේදී ද සිදු විය හැක.

රුධිරගත සීනි ප්‍රමාණය පාලනය වීම ප්‍රධාන වශයෙන් ම සිදුවන්නේ ඉන්සියුලින් නමැති හෝමෝන වර්ගයෙහි ක්‍රියාකාරිත්වය මගිනි. ගර්භණී සමයේදී මෙම හෝමෝනයේ ක්‍රියාකාරිත්වය සහ ස්‍රාවය වන ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයේදී ට වඩා බොහෝ ලෙස වෙනස්‌ වේ. එම නිසා දියෑවැඩියාව ගර්භණී නොවන තත්ත්වයේදීට වඩා ගර්භණී සමයේදී බොහෝ ගැටලු ඇතිකරයි. මවගේ සිරුරේ සියලුම අවයවයන්ට මෙම තත්ත්වයේ බලපෑම ඇති වේ. විශේෂයෙන්ම පෙර සිටම දියවැඩියාව ඇති කාන්තාවක්‌ ගැබ් ගැනීමෙන් පසු ඇගේ ශරීරයේ ඇති විය හැකි දියවැඩියාව හා සම්බන්ධ සංකූලතා වැඩිවිය හැක. එනම් ඇස්‌ වල ඇති වන සංකූලතා, වකුගඩු ආශ්‍රිත ගැටලු , හෘද රෝග, ස්‌නායු රෝග හා ඒ ආශ්‍රිත ගැටලු, සංකීර්ණ විය හැක. එබැවින් දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන කාන්තාවක්‌ ගැබ් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඇගේ දියවැඩියා තත්ත්වය මනා ලෙස පාලනය කරගත යුතුයි. මීට අමතරව ඇස්‌, වකුගඩු, ස්‌නායු, හෘදය යන අංග ගැන විශේෂයෙන් සොයා බලා ගැටලු ඇත්නම් ඒවා පාලනය කරගත යුතුයි. ගර්භණී සමය තුළදී ද මේවා අදාළ පරික්‌ෂණ කිරීමෙන් ගැටලු ඇති වන්නේ දැයි විමසිලිමත් විය යුතුය.

දියවැඩියාව ආශ්‍රිත සිරුරේ සිදුවන මූලිකම වෙනසක්‌ වන්නේ රුධිර නාල වල සිදුවන හානීන්ය. ගර්භණී තත්ත්වයත් සමඟ ළදරු කළලයට පෝෂණය සැපයෙන වැදෑමහ වර්ධනය වීම සිදු වේ. මෙම වැදෑමහ තුළ නිපදවෙන රුධිර නාල වල පවා මෙම වෙනස්‌ වීම් සිදු විය හැක. එලෙස සිදු වන විට වැදෑමහ නිරෝගි ලෙස වර්ධනය වන්නේ නැත. මේ සමඟ තවත් බොහෝ ගැටලු ඇතිවිය හැක. ගර්භණී සමයේදී ඇතිවන අධික රුධිර පීඩනය දියවැඩියාවෙන් පෙළෙන මව්වරුන්ගේ සංකූලතාවයක්‌ ලෙස දැකිය හැක.

තවද ළදරු කළලයට පෝෂණය අඩු වීමෙන් එහි වර්ධනය අඩු විය හැක. අනවශ්‍ය ලෙස වැඩි රුධිර සීනි ප්‍රමාණයක්‌ ඇතුළු වීමෙන් කළලය අනවශ්‍ය ලෙස වර්ධනය වීමෙන් ප්‍රමාණයට වඩා විශාල, වැඩි උපත් බරක්‌ සහිත දරුවන් බිහිවිය හැක. දියවැඩියාව සහිත මවකට උපත් අඩුපාඩු සහිත දරුවකු බිහිවීමේ ප්‍රවණතාවය නිරෝගී මවකට එවන් දරුවකු බිහිවීමේ ප්‍රවණතාවයට වඩා වැඩිය. තවද, කළලයක්‌ අඩු මාස ගණනකදී වර්ධනය ඇණ හිටීම, ගර්භාෂය තුළදීම සිදුවන හදිසි කළල මරණ, උපතේදීම ජීවී තත්ත්වය නැති වී යාම වැනි ඉතා ගණගාටුදායක තත්ත්වයන් මෙම රෝගය ආශ්‍රිතව දැකිය හැක. ගර්භණී සමයේදී මුල සිට ම ලේ, මුත්‍රා පරික්‌ෂා කිරීමෙන් මෙම තත්ත්වය හඳුනාගත හැක. මුල් කාලයේ සිට ම රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කළ හැකි නමුත් ගර්භණී අවධියේ දී මෙය අපහසු විය හැක. එවැනි අවස්‌ථා වලදී ඉන්සියුලින් හෝමෝනය එන්නත් මාර්ගයෙන් ලබාදීම සිදුකෙරේ.

බොහෝ විට ගර්භණී සමයේ දී මතුවන දියවැඩියා තත්ත්වය දරු ප්‍රසූතියත් සමග නැති වී යයි. මෙය රුධිරය පරීක්‌ෂා කිරීමෙන් දැන ගත හැකිය. මෙවැනි කාන්තාවකට පසු කලකදී දියවැඩියා තත්ත්වය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති බැවින් ඇය ඒ සම්බන්ධව වඩාත් කල්පනාකාරී විය යුතුය. ගර්භණී සමයේ දී ශරීරයේ බොහෝ හෝමෝනවල වෙනස්‌කම් ඇතිවන බැවින් දියවැඩියාව මතුවීමේ ඉඩ කඩ වැඩිය. එබැවින් ගැබිණි මවක්‌ ගර්භණී සමයේ දී සීනි බහුල ආහාර වර්ග අඩුවෙන් ගැනීම යහපත්ය. අද සමාජයේ අනුභව කරන ආහාර අතුරින් ශරීයේ රුධිරගත සීනි ප්‍රමාණය ක්‌ෂණිකව වැඩි කරන ආහාර (පැණි රස කැවිලි, ලොසින්ජර..) වඩා හානිකර සහ අඩු පෝෂණ ගුණයෙන් යුක්‌ත ආහාර ලෙස හැඳින්විය හැක. මෙවැනි ආහාර ගැනීම අඩු කිරීම ගර්භණී මව්වරුන්ට පමණක්‌ නොව අන් අයගේ සෞඛ්‍යයටද හිතකර වේ.

කාන්තා රෝග පිළිබඳ ගැටලූ කාන්තා සෞඛ්‍ය සායනයට යොමු කරන්න.

කාන්තා සෞඛ්‍ය සායනය තුළින් හැමදාමත් කාන්තා රෝග පිළිබඳව අපි ඔබ දැනුවත් කළෙමු. කාන්තා රෝග සම්බන්ධයෙන් දැනුවත් වූ ඔබටත් ඒ පිළිබඳ ගැටලු රාශියක්‌ තිබෙන්නට පුළුවන්.

කාන්තා රෝග පිළිබඳ ඔබේ ගැටලුව කාන්තා සෞඛ්‍ය සායනය වෙත යොමුකරන්න. ඔබට සහනයක්‌ ලබා ගැනීමට කාන්තා සෞඛ්‍ය සායනය තුළින් හැකිවනු ඇත.

වෛද්‍ය
චම්පා නෙල්සන්

No comments:

Post a Comment