Monday, November 29, 2010

සැමියා කෝප වූවොත්.. බිරිය බිහිරි වූවාසේ සිටින්න

අඹුසැමි සබඳතාවේ දී දෙපළ ම වඩාත් ම සැලකිලිමත් විය යුතු කාරණයක්‌ වේ. ඒ දෙදෙනා අතර, කෙදිනකවත් දබරයක්‌ ඇති නොවීමට වගබලා ගැනීමය. සැබෑ ලෙසින් ම බැලුවොත් එය විවාහය සම්බන්ධයෙන් දෙදෙනාගේ ම ප්‍රබල වගකීමකි. මක්‌නිසාද යත් අඹුසැමි දෙපළ අතර, ගැටුමක්‌ දබරයක්‌ ඇතිවීමෙන් එය පුරුද්දකට යැම නිසාය. දෙදෙනා රණ්‌ඩු කරගතහොත්, එයින් පසුව එය සාමාන්‍ය දෙයක්‌ බවට පත්වේ.

වර්තමානයේ ඇතැම් යුවතියන්

වර්තමානයේ ජීවත්වන ඇතැම් යුවතියන්, විවාහයේ තිබිය යුතු එම පොරොන්දුව ගැන එතරම් සැලකිලිමත් නො වීමෙන්, දෙදෙනා අතර ක්‍රමයෙන් දුරස්‌ බවක්‌ ඇති කර ගනී. එයට බලපාන එක්‌ හේතුවක්‌ වන්නේ, අද කාලයේ බොහෝ යුවතියන් විවාහ දිවියට ඇතුලත් වන්නේ, රැකියාවක යෙදෙන ස්‌වාධීන ගැහැනුන් ලෙසිනි. එහෙයින් ඇය සිතන්නේ, පිරිමින්ගේ අසාධාරණකම්වලට යටත් විය නොහැකි බවකි. නමුත් සෑම පිරිමියෙකු ම පාහේ ප්‍රිය කරන්නේ, විවාහය තුළ තම අණසක පවත්වාගෙන යැමටය. එහෙයින්, ඔහු කියන කරන දේ හරි හෝ වැරදි හෝ වේවා, එය සනාථකිරීමේ වෑයමක යෙදේ. තනිමතයට කටයුතු කිරීමට පෙළඹේ. බිරිඳකගේ කෝණයෙන් බලද්දී, එය වරදක්‌ බව සැබෑය. නමුත් එම තත්ත්වය නිවැරදි හා වෙනස්‌ කර ගැනීමට ඇය ට සිදුවන්නේ, එය ට එරෙහිව දබරයක්‌ කර ගැනීමෙන් නොව, බුද්ධිමත් ව ඉවසීමෙන් කටයුතු කිරීමෙනි.

අද ගැහැනිය ස්‌වාධීන හෙයින්, ඇය සැමවිටම උත්සාහ කරන්නේ, තම සැමියාගේ යම් යම් ක්‍රියාවන්ට එරෙහි ව දබර කර ගැනීමට ය. නමුත්, යම් බිරිඳක්‌ තම සැමියා සමඟ දබරයක්‌ ඇති කර ගැනීමෙන් පසුව හැඟෙන්නේ, තම ජීවිතය තුළ ප්‍රබල හිස්‌බවක්‌ තිබෙන බවකි. එය එක්‌තරා අන්දමකින් පරාජිත හැඟීමකි.

"එයා වැඩ කරන්නේ එයාට ඕන විදියටනේ. මං ඕව ට කතාකරන්න යන්නේ නෑ. කවදා හරි තනිමතය ට වැඩ කරලා මට්‌ටුවෙයිනේ."

අඹුසැමියන් අතර මත ගැටුම් ඇති වූ විට දී, බොහෝ බිරියන් සිතන්නේ, එලෙසිනි. නමුත්, එසේ සිතීමෙන් අදහස්‌ කෙරෙන්නේ, දෙදෙනා අතර යම් දුරස්‌වීමක්‌ හටගෙන ඇති බවකි. අඹුසැමි දෙපළ අතර මත ගැටුමක්‌ දබරයක්‌ ඇති නො විය යුතු සේම, එලෙසින් දෙදෙනා අතර දුරස්‌වීමක්‌ තිබීම ද තේරුමක්‌ නොවේ.

කතාබහ කර ගැනීමෙන්

හිතුවක්‌කාරකමින් හෝ බිරිඳට බොහෝ දේ නො පවසමින් සැමියා කටයුතු කිරිමෙන් සිදුවන්නේ, ඇය ට විවාහය හුදකලාවීමක්‌ සේ හැඟීමය. සැමියා තමා සමඟ දබර කර ගැනීමක ට නිබඳව ම පෙළඹෙද්දී හෝ තමාගේ මතය ම ක්‍රියාවට නැගීමට උත්සාහ කරද්දී, බිරිඳක්‌ එය දකින්නේ, සැමියා තමාට ආදරය නො කරන බවකි. ඔහුට තමාව නො වටිනා බවකි. එහි ප්‍රතිඵලය වන්නේ, එම විවාහය දෙදෙනාට ම නො දැනීම යම් දුරස්‌වීමකට පත්වීමය.

එහෙයින්, එම තත්ත්වය ට විවාහයක්‌ පත්කර ගැනීමේ අරුතක්‌ නො වන අතර, දබරයක්‌ ඇතිවීමට බලපාන කරුණු, දෙදෙනා විසින් ම අධ්‍යයනය කළ යුතුය. දෙදෙනා අතර යම් ප්‍රබල දබරයක්‌ ඇති වුවහොත්, දෙදෙනා විසින් ම , එය හටගත්තේ කෙසේ ද යන්න ගැන ගැඹුරින් සිතා බැලීම වටී. ඒ සමඟ ම එම තත්ත්වය වලක්‌වා ගැනීමට කළ යුතු ව තිබූ දෙය සිතා බැලිය යුතුවේ.

බොහෝ අවස්‌ථාවල දී

අඹුසැමි දෙපළක්‌ අතර දබරයක්‌ හටගන්නේ, සැමියා යම් දොසක්‌ කී විට දී, බිරිඳ එයට ප්‍රති පිළිතුරු දීමට යැම හෝ එකින් එක කීමට යැම නිසාය. නමුත්, සෑම බිරිඳක ම වටහාගත යුතු දේ වන්නේ, පිරිමින් එය අනුමත නො කරන බවකි. ඔහු එය දකින්නේ, තමාගේ පිරිමිකමට හානියක්‌ සේ ය. එහෙයින්, බිරිඳගේ එම හැසිරීම ට ඉඩ නොදිය යුතුය යන්නය. එම හැඟීම මත, ඔහු තම බිරිඳ ව පරාජය ට පත්කිරීමට උත්සාහ කරන අතර, ඒ සඳහා විවිධ උපක්‍රම ද භාවිත කරයි.

වඩාත් කදිම දේ

දබරකර ගැනීමකින් තොරව පවුල්කෑමට නම් ඔබ කළ යුත්තේ, සැමියා කෝපයට පත් වූ විට බිරිඳ ලෙසින් ඔබ නිහඬවීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමය. මන්ද, අඹුසැමි දෙපළ ම එකවර කෝපයට පත්වීම වරදකි. එයින් සිදුවන්නේ, අනවශ්‍ය දබරයක්‌ ඇතිවීමය. එමෙන් ම , එය ප්‍රබල සිත් වේදනාවක්‌ සේම, දුරස්‌වීමකට ද හේතුවකි. සැමවිට ම පවුලේ අනවශ්‍ය මතභේද වලක්‌වා ගැනීමේ වගකීම, බිරිඳකට පැවරේ. එහෙයින්, සැමියා යම් දෙයකට කෝපයට පත්වීම හෝ ඔබේ වරදක්‌ පෙන්නුම් කරද්දී, නිහඬවීමෙන්, ඔබ එම වරද පිළිගත් බවක්‌ ඔහුට ඒත්තු ගැන්වේ. සැබවින් ම එය පරාජයවීමක්‌ නොව, දිනීමකි. මන්ද එසේ කිරීමෙන් ඔබේ පවුලේ සමගිය හා සාමය

රැකේ. එය සෑම බිරිඳක අතින් ම සිදුවිය යුත්තකි. සාමාන්‍යයෙන් පිරිමින් ඉක්‌මන් කෝපකාරයන්වීමට හැකි හෙයින්, බිරිඳක්‌ සැමවිටම ක්‍රියාකළ යුත්තේ, සැමියාගේ කෝපය නිවන්නිය සේ ය. එසේ නොමැති ව ඇය ද ඔහුට එරෙහි ව, කැත්තට පොල්ල වීමට ගියහොත්, එය පවුල් විනාශවීමකි.

නමුත්, ඔබ නොකළ වරදකට බැනුම් ඇසිය යුතු ද නොවේ. ඒ සඳහා කළ යුත්තේ, ඔහු සන්සුන්ව සිටියදී, ඔහුගේ හැසිරීම් රටාවේ වැරදි බව හා ඔහු තමා ඉදිරියේ හැසිරිය යුතු නිවැරදි ක්‍රමය වටහාදිමය. එවිට ඔහු සියුම්ව ලැඡ්ජාවට පත්වේ. තමාගේ වරද ඔබ ඉදිරියේ නොපිළිගත්ත ද , රහසේ ම වරද ඒත්තු ගනී. එය සැමවිටම ඔබේ වාසියට හේතුවේ.

එමෙන්ම, ඔහු සන්සුන්ව සිටියදී, ඔහුගේ හැසීරිම සම්බන්ධයෙන් ඔබ ප්‍රිය කරන තාලය පිළිබඳ ව, ඔහු ව දැනුවත්කිරීම වටී. එවිට ඔහු ඔබේ එම අදහස්‌ තම සිතට ගනී. ඔහුගේ සිතේ ඔබ කෙරෙහි වූ ආදරය ද එයින් වැඩිවේ. එය අඹුසැමි සතුට වර්ධනය කරන්නකි.

එසේ නොමැතිව, සැමියා කෝපවන තරමට ම, බිරිඳක ලෙසින් ඔබ ද කෝපයට පත් වූවොත්, එය සහමුළින්ම විවාහය අසුන්දරත්වය කරා ගමන් කරවීමකි.


ප්‍රදීප් කුමාර බාලසූරිය

No comments:

Post a Comment