Sunday, December 5, 2010

මොනවද මේ වායු ගෙඩි

තයිරොයිඩ් හෝමෝන ඌණතාව හඳුනාගැනීමට
තරමක්‌ අපහසු රෝගයකි

වෛද්‍ය ආනන්ද දිසානායක මහ රෝහල, රත්නපුර

මන්ද පරභවතාවය හෙවත් තයිරොයිඩ් හෝමෝන ඌනතාවය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් දහසකට හතර දෙනෙකුට පමණ ඇතිවන රෝගී තත්ත්වයකි. මේ සඳහා ඖෂධ ලබාගැනීමට දිනපතා සායනයන්ට පැමිණෙන අතිවිශාල රෝගී සංඛ්‍යාවෙන් මේ බව තහවුරු වේ. රෝගයට ම විශේෂිත රෝග ලක්‍ෂණ විරල අතර ඒවා ඇතිවන්නේද ඉතා සෙමින් බැවින් රෝගය ඇති බව රෝගියාට හෝ පවුලේ අන් අයට දැන ගැනීම ඉතා අසීරුය. රෝග ලක්‍ෂණ ඉතාමත්ම සුළු තත්ත්වයේ සිට මාරාන්තික සිහිමුර්ජාව දක්‌වා විහිදී යයි.

පුද්ගලයකුගේ ගෙල ඉදිරිපස පිහිටා ඇති තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිෂ්පාදනය වී ශ්‍රාවය වන තයිරොක්‌සින් හා ඊට අදාළ හෝමෝන මගින් ශරීරයේ සියලුම සෛල වල පරිවෘත්තීය ක්‍රියාදාමය පාලනය කරනු ලබයි. ශරීරය යන්ත්‍රයක්‌ සේ සැලකුවහොත් එහි වේගය පාලනය කරනු ලබන්නේ තයිරොයිඩ් හෝමෝන මගිනි. ශරීර වර්ධනය, මානසික වර්ධනය මනසේ ක්‍රියාකාරිත්වය සහ සියලුම අවයවයන්හි ක්‍රියාකාරිත්වයට තයිරොයිඩ් හෝමෝන සෘජුවම බලපානු ලබයි.

අයඩීන් අඩංගු හෝමෝනයක්‌ වන තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනයට අයඩීන් අවශ්‍යවේ. එබැවිනුයි මන්ද පරාභවතාවයට අයඩීන් ඌනතාවය එක්‌ හේතුවක්‌ වන්නේ. තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනය හා ශ්‍රාවය වීම ශරීරයට අවශ්‍ය පරිදි පාලනය කරනු ලබන්නේ තයිරොයිඩ් උත්තේජන හෝමෝනය (ඔSH) නමැති පිටියුටරි හෝමෝනය මගිනි. (ඔSH) ශ්‍රාවය මොළය මගින්ද පාලනය වේ. මේ මගින් මොළයට අවශ්‍ය පරිදි තයිරොයිඩ් ග්‍රන්ථියෙහි හෝමෝන පාලනය කරනු ලබයි.

අයඩීන් ඌනතාවය සහ කාලීන තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය ලෝකයේ මන්ද පරාභවතාවය ඇතිවන ප්‍රධානතම හේතූන්ය. එසේම තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ඇතිවන එන්සයිම ඌනතා නිසාද ඉතා මන්දගාමීව රෝග ලක්‍ෂණ ඉස්‌මතුවේ. අයඩීන් අඩංගු ලුණු භාවිතය නිසා ශ්‍රී ලංකාවේ අයඩීන් ඌනතාවය නූතන කාලයේ එතරම් දැකිය නොහැක. එහෙත් එය දකුණු ඇමරිකානු හා අප්‍රිකානු රටවල බහුලව දැකිය හැකිය.

මන්ද පරාභවතාව ඇතිවන රෝගීන්ගේ බොහෝවිට ගලගණ්‌ඩය හෙවත් තයිරොයිඩ් ග්‍රන්ථිය විශාලවීම සිදුවේ. එහෙත් ගල ගණ්‌ඩය ඇති සියලුම අයට මන්ද පරාභවතාවය ඇතිවන්නේ නැත. තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය වැඩි වශයෙන් ඇතිවන්නේ කාන්තාවන්ගේය. ශල්‍යකර්මයක්‌ මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහ තයිරොයිඩ් ග්‍රන්ථයෙහි ඇතිවන පිළිකාවලට ලබාදෙන විකිරණ ප්‍රතිකාර නිසා ඇතිවන හෝමෝන ඌනතාවය ඇතිවූ විට වෛද්‍යවරුන් විසින් මෙම රෝගීන්ට ජීවිතාන්තය දක්‌වා තයිරොක්‌සින් පෙති වශයෙන් ලබාදෙන බැවින් මන්ද පරාභවතාවක්‌ මෙම රෝගීන්ට ඇති නොවීමට වගබලා ගනු ලැබේ. එහෙත් ඔවුන් ඖෂධ හරියාකාරව නොගන්නේ නම් රෝග ලක්‍ෂණ මතු විය හැක. මන්ද පරාභවතාව නිට්‌ටාවට සුවවන රෝගයක්‌ නොවන බැවින් තයිරොක්‌සින් ඖෂධය ජීවිතාන්තය දක්‌වාම ලබාදිය යුතුය.

ඖෂධ මාත්‍රාව නියමිත පරිදි ලැබේදැයි බලා ගැනීමට මෙම රෝගීන්ගේ රුධිරයේ හෝමෝන අගයන් විටින් විට පරීක්‍ෂා කළ යුතුය.

උපතින්ම තයිරොයිඩ් ඌනතාවය ඇතිව ඉපදීම (Cරුඑසබසිප) ඉතා බරපතල ගැටලු ඇතිකරවන තත්ත්වයකි. කළලයෙහි තයිරොයිඩ් ග්‍රන්ථිය හරියාකාරව වර්ධනය නොවීම හෝ තයිරොයිඩ් හෝමෝන නිෂ්පාදනයට අවශ්‍ය එන්සයිම ඇති නොවීම මව අයඩීන් ඌනතාවයෙන් පෙළීම වැනි හේතූන් නිසා මෙම තත්ත්වය ඇතිවේ. මෙසේ තයිරොයිඩ් හෝමෝන ඌනතාවය ඇතිව උපදින ළදරුවන්ගේ කායික හා මානසික වර්ධනය සම්පූර්ණයෙන් දුර්වල විය හැක. ඉතා ඉක්‌මණින් හෝමෝන ශරීරගත කිරීමෙන් ප්‍රතිකාර පටන් නොගත හොත් මන්ද බුද්ධික මෙන්ම ශරීර වර්ධනය අඩපණ වූ දරුවකු බවට පත්වේ. ලෝකයේ උපත් වලින් හාර දහසකට එක්‌ අයෙකු මෙම තත්ත්වයට ගොදුරුවේ. මෙවැනි දරුවන් ඉපදී ටික දිනකින් මුහුණු ඉදිමුණු සුලු ස්‌වභාවයක්‌ ඇතිවීම, උදරය විශාලවීම, දිව විශාලවීම, නාභිය විශාලවීම සහ රක්‌තහීනතාවය වැනි රෝග ලක්‍ෂණ පිළිබිඹු කරයි. ඉතා ඉක්‌මණින්ම රෝග නිශ්චය කළ යුතු බැවින් ඇමරිකාව වැනි රටවල සෑම අලුත උපන් දරුවකුම රුධිර පරීක්‍ෂණයකට භාජනය කරනු ලැබේ.

තයිරොයිඩ් හෝමෝන ඌනතාවයේදී රෝග ලක්‍ෂණ මතුවීමට හේතු දෙකක්‌ නිසා සිදුවේ. ප්‍රථමයෙන් අඩු හෝමෝන නිසා එය ශරීරයේ ක්‍රියාකාරිත්වයට කෙලින්ම බලපායි.

දෙවනුව ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය මන්දගාමීවීම නිසා නොයකුත් අනවශ්‍ය ද්‍රව්‍ය විශේෂයෙන් ග්ලයිකෝස්‌ ඇමයිනෝ ග්ලයිකනොයිඩ් ශරිරයේ නොයෙකුත් පටකවල තැන්පත්වීම සිදුවේ. මේ මගින් පටක වල ඉදිමුණු ස්‌වභාවයක්‌ ඇතිවේ. තයිරොයිඩ් හෝමෝන ඌනතාවයේදී හෘදයෙහි සංකෝචනයන් දුර්වල වන අතර හෘද බිත්ති ඝන වීම සහ කුහර විශාල වීම සිදුවේ. එසේම හෝමෝන ඌනතාවය වැඩිවත්ම හද ගැස්‌මේ වේගය අඩුවේ. මිනින්තුවකට හෘදයෙන් පිටකරන රුධිර ප්‍රමාණය අඩු වන අතර සමහර විට හෘදය වටා ඇති පටලයන් තුළ තරලය එකතුවීම සිදුවිය හැක.

ආහාර මාර්ග පද්ධතියේ සිදුවන වෙනස්‌වීම් නම් ආමාශයේ අම්ල ශ්‍රාවය අඩුවීම, වැඩිවේලාවක්‌ ආහාර ආමාශය තුළ රැඳී තිබීම සහ අන්ත්‍රවල ක්‍රමාකුංචන චලනයන් අඩුවීම ආදියයි. මේ නිසා බොහෝ රෝගීන්ගේ බඩවියලීම සිදුවේ. රුධිරයෙහි කොලෙස්‌ටරෝල් සහ ශරීරයට අහිතකර මේදයන් ඉහළ යැමද ශරීරයට හිතකර මේදයන් අඩුවීමද සිදුවේ. එසේම ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අඩපණවීමෙන් රුධිරයේ ග්ලුකෝස්‌ මට්‌ටමයෙහි පාලනයෙහි දුර්වලතාවයන්ද ඇතිවේ.

ලිංගික වර්ධනය කෙරෙහි තයිරොයිඩ් හෝමෝන සෘජුවම බලපෑම් ඇති කරයි. ලිංගික පරිණතවීම ප්‍රමාදවීම හෝ සම්පුර්ණයෙන්ම නැතිවීම සහ කාන්තාවන්ගේ ඔසප්වීම අක්‍රමවත්වීම හෝ නතර වීම සිදුවේ. එසේම මඳසරු බව ඇතිවිය හැක. මදසරු කාන්තාවන්ගේ තයිරොයිඩ් හෝමෝන තත්ත්වය පරීක්‍ෂා කර බලන්නේ මේ නිසාය.

මොළය හා ස්‌නායු පද්ධතිය කෙරෙහිද තයිරොයිඩ් හෝමෝන අඩුවීම බලපෑම් ඇති කරයි. මානසික ක්‍රියාකාරිත්වය අඩපණ වන අතර අමතකවීම අවධානය එක්‌ තැනකට යොමුකර සිටීමට නොහැකිවීම, නිදිමත ගතිය ඇතිවීම මානසික කලකිරුණු බව ඇතිවීම, මනසට ඇතිවන වෙනස්‌වීම් දරා ගැනීමට නොහැකි වීම ඉන් සමහරකි. සමහර රෝගීන්ගේ ශ්‍රවණය දුර්වල වන අතර අත්වලට සපයන එක්‌තරා ස්‌නායුවක්‌ මැණික්‌ කටුව අසල තෙරපීම නිසා ඇඟිලිවල හිරි ගතිය ඇතිවේ. ශරීරයේ ශක්‌තිය අඩුවීම, කම්මැලි ගතිය, ආහාර අරුචිය සහ සිරුරේ බර වැඩිවීමද බොහෝ රෝගීන්ගේ ඇතිවේ.

සියයට පනහක්‌ පමණ රෝගීන්ගේ සීතල දරාගැනීමට නොහැකියාව ඇතිවන අතර දහඩීය දැමීම අඩුවේ. දිවා කාලයේදී පවා අධික සීතලක්‌ දැනෙන අතර සමේ ගොරෝසු ගතියක්‌ ඇතිවේ. මුහුණ ඉදිමුණු ස්‌වභාවක්‌ පෙන්නුම් කරයි. අධිකව හෝමෝන ඌනතාවය ඇතිවූවන්ගේ ගාත්‍රා ඉදිමීමට ලක්‌වේ. හිසකෙස්‌ අධිකව ගැලවී යැම, ඇහැ බැමෙහි කෙස්‌ ගැලවී යැම, කටහඬ ගොරෝසු බවක්‌ පෙන්නීම තවත් සමහර රෝග ලක්‍ෂණයන්ය.

අධික ලෙස ඌනතාවය ඇති රෝගීන්ගේ කතා කිරීමේ වේගය සහ ගමන් කිරීමේ වේගය පවා අඩුවේ. මුහුණෙහි හැඟීම් ප්‍රකාශවීම සිදු නොවේ. දිව විශාලවීම නිසා නින්දේදී ගෙරවීමද ඇතිවේ. තවද මාංශ පේශීන්ගේ වේදනාව සන්ධි වේදනාව ඇතිවේ.

ඉහත සඳහන් රෝග ලක්‍ෂණයන්ට අමතරව රෝගියා, පරීක්‍ෂා කිරීමේදී රක්‌තහීනතාව සමෙහි කහ පැහැවීම, නාඩි වේගය අඩුවීම ආදියද සොයා ගත හැකිවේ.

තයිරොයිඩ් හෝමෝaන ඌනතාවය උග්‍රව ඇති රෝගියකුට හදිසියේ වෙනත් කායික රෝගයක්‌ ඇතිවීම හදිසි අනතුරක්‌ ඇතිවීම ශල්‍ය කර්මයකට භාජනය වීම වැනි දේ සිදුවීමේදී ඒවා දරාගත නොහැකිවේ. මෙවැනි අවස්‌ථාවේදී රෝගියාගේ සිහිය නැතිවීම, ශරීරයේ උෂ්ණත්වය පහළ බැසීම රුධිරයේ කාබන් ඩයොක්‌සයිඩ් එකතුවීම සහ රුධිරයෙහි ලවණ ප්‍රමාණයන් වෙනස්‌වීමද සිදුවේ. උදරයෙහි තරලය එකතුවීම වැනිදේ සිදුවිය හැක. මෙවැනි අවස්‌ථාවක රුධිර පීඩනය සහ හෘදයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීමෙන් රෝගියා මරණයට පත්වීමටද හැක.

ඉහත සඳහන් විස්‌තරයන්ට අනුව පෙනී යන්නේ තයිරොයිඩ් හෝමෝන ඌනතාවය. කිසිම විශේෂිත රෝග ලක්‍ෂණ නොමැති වන අතර කිසිදු රෝග තත්ත්වයක්‌ නොමැති තත්ත්වයේ සිට මාරාන්තික සිහි මුර්ජාව දක්‌වා රෝග ලක්‍ෂණ දිව යා හැකි බවය.

එසේම අප මානසික රෝග ලෙස දක්‌වන කලකිරීම වැනි ආකාරයටද රෝගය ඉස්‌මතු වියහැකි බවය. එබැවින් බැලූ බැල්මට තයිරොයිඩ් හෝමෝන ඌනතාවය හඳුනා ගැනීම ඉතාමත් අපහසුය. ශරිරයේ පිටතට පෙනෙන වෙනස්‌වීම් වුවද සිදුවන්නේ ඉතා මන්දගාමීව බැවින් පවුලේ අයටද රෝගියාගේ වෙනසක්‌ දැකීම අපහසුය.

ඇමරිකා එක්‌සත් ජනපදයේ සියලුම අලුත උපන් දරුවන්ගේ රුධිර සාම්පලය පරීක්‍ෂා කර මෙම තත්ත්වය ඇතිදැයි පරීක්‍ෂා කර බලනු ලැබේ. එසේම ගර්භනී සමයට පෙරද පළමු තුන් මස ඇතුළතද රුධිර පරීක්‍ෂා කර තයිරොයිඩ් හෝමෝන ඌනතාවය ඇතිදැයි බලනු ලැබේ.

රුධිර පරීක්‍ෂණයෙහිදී ඉතාම වැදගත් පරීක්‍ෂණය නම් රුධිරෙයි ඔSH ප්‍රමාණය නිර්ණය කිරීමයි. රෝග ලක්‍ෂණ ඇතිවන විට ඔSH ඉතා ඉහළ මට්‌ටමකට වැඩිවේ. කාලීන තයිරොයිඩ් ග්‍රන්ථි ප්‍රදාහය නිර්ණය කිරීම සඳහා රුධිරයෙහි නොයෙකුත් ප්‍රතිදේහ මට්‌ටම් පරීක්‍ෂා කරනු ලැබේ. තයිරොයිඩ් හෝමෝන ඌනතාවය හෙවත් මන්ද පරාභවතාවයට ප්‍රතිකාර කිරීම ඉතාම පහසුය. එනම් දිනපතා තයිරොක්‌සින් හෝමෝනය පෙති ආකාරයට ලබාදීමයි. ජීවිතාන්තය දක්‌වාම ඖෂධ ලබාගත යුතු බවත් කිසිම අවස්‌ථාවක ඖෂධ නොනැවැත්විය යුතු බවත් රෝගීන් හට අවබෝධ කළ යුතුය.

එසේම ගර්භනී සමයෙහි සහ වෙනත් රෝගාබාධයකට ලක්‌වූ විට ඖෂධ මාත්‍රාව තරමක්‌ වැඩිකළ යුතුය.

No comments:

Post a Comment