Sunday, December 5, 2010

සම අතුල්ලන්නේ බලාගෙන !

මුහුණේ සම සහ සිරුරේසම ස්‌ක්‍රබ් කිරීම සුදුසුද?

ස්‌ක්‍රබ් යන වචනයේ තේරුම වන්නේ යම්කිසි රළු දෙයක්‌

භාවිත කරමින් තදින් ඇතිල්ලීමයි. අපේ සමේ ව්‍යqහය පිළිබඳ සලකා බැලීමේදී අපිචර්මයේ ඉහළම කොටස අපි විද්‍යාත්මක ලෙස කොරොස්‌ථරය ලෙස හඳුන්වයි. මෙය ඉතාම මෘදු සැඟවූ වලවල්, හිල් නොමැති සුමට ස්‌ථරයකි. ස්‌ක්‍රබ් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ යම්කිසි තැනක කුණුවැනි ද්‍රව්‍ය බැඳී පවතී නම් ඒවා ඉවත් කිරීමකි. උදාහරණයක්‌ වශයෙන් ලිපේ තියන ලද බඳුනක යම් කිසි වෑංජනයක්‌ පතුලේ බැඳී තිබෙනවා නම් එය ඉවත් කිරීමට ඝන ද්‍රව්‍යයකින් අතුල්ලයි. ස්‌ක්‍රබ් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ එවැන්නකි. නමුත් අපේ සමේ එවැනි දෙයක්‌ සිදුවිය නොහැකියි. සමෙහි කුණු, දහදිය, වෙනත් අපද්‍රව්‍ය සමට තදින් ඇලී තිබීමක්‌ හෝ බැඳී තිබීමක්‌ සිදුනොවේ. එය වෛද්‍ය විද්‍යාත්මකව ද තහවුරු කර තිබේ. එම නිසා ස්‌ක්‍රබ් එකක්‌ හෙවත් ඝන ද්‍රව්‍ය යොදා ඇතිල්ලීමක්‌ අපේ සමට කිසිවිටෙකත් අවශ්‍ය නොවේ. එය ඉතාම වැරදි ක්‍රියාවකි.


බොහෝදෙනා ස්‌ක්‍රබ්කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ මැරුණු සම ඉවත් කර ගැනීමයි. මෙහි සත්‍යතාවක්‌ තිබෙනවාද?

මැරුණු සම ස්‌වභාවිකවම ඉවත් වේ. එය අමුතුවෙන් ඉවත් කිරීමක්‌ අවශ්‍ය නොවේ. මැරුණු සම ඉවත් කිරීම සඳහා ස්‌ක්‍රබ් කිරීම මඟින් ඊටත් වඩා හානියක්‌ සමට වන බව බොහෝ තරුණියන් නොදනියි. මෙය මානසික ඇබ්බැහිවීමක්‌ ලෙස හඳුන්වාදිය හැකියි. ස්‌ක්‍රබ් කිරීම මඟින් අපේ සම අසාමාන්‍ය ලෙස උද්දීපනය වීමක්‌ සිදුවේ. සම උද්දීපනයවීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඇමලොයිඩ් නමැති රසායන ද්‍රව්‍ය සම මතුපිට තැන්පත්වීමට පටන්ගනී. ඇමලොයිඩ් නමැති රසායන ද්‍රව්‍ය කළුපාට ස්‌ථරයක්‌ වශයෙන් සම මතුපිට තැන්පත් වේ. මෙය සියලුදෙනාටම සිදුනොවුනත් ඇතැමෙකුට සිදුවන තත්ත්වයකි. ඒ සඳහා ජානමය බලපෑමක්‌ ද තිබේ. පරම්පරාවෙන් පරම්පරාවට ඇමලොයිඩ් නිපදවීමේ හැකියාව ගමන් කරයි. මෙවැනි කෙනෙකු සම ස්‌ක්‍රබ් කිරීමේදී ඇමලොයිඩ් ස්‌ථරයක්‌ සම මතුපිට තැන්පත් වේ. ඇතැමෙකුට මෙය බිබිලි ආකාරයට ඇති වේ. එය අපි ලයිකන් ඇමලොයිඩෝසිස්‌ ලෙස හඳුන්වයි. තුනියට සම මතුපිට ඒකාකාර ස්‌ථරයක්‌ ලෙස ඇතිවන ඇමලොයිඩ් අපි මැකියුලර් ඇමලොයිඩෝසිස්‌ ලෙස හඳුන්වමු. කුමන ක්‍රමයකට හෝ ඇමලොයිඩ් නමැති රසායනිකය සම මතුපිට තැන්පත්වීමේදී ඒවා ඉවත් කිරීම අතිශයින්ම දුෂ්කර කාර්යයකි. ප්‍රතිකාර කළ ද ඉතා සාර්ථක ප්‍රතිචාර නොදක්‌වයි. ප්‍රතිකාර මඟින් පැහැය අවම කරගැනීම පමණක්‌ කළ හැකියි.


ස්‌ක්‍රබ් කිරීම මඟින් සමට ඇතිවන තවත් අහිතකර ප්‍රතිඵල තිබේද?

ස්‌ක්‍රබ් කිරීම මඟින් සම මතුපිට ඇති සමට හිතකර සහ අවශ්‍ය වන බැක්‌ටීරියා වර්ග ඉවත් වීමක්‌ සිදුවේ. සමට හිතකර බැක්‌ටීරියා මඟින්, ශරීරයට බාහිරින් ඇතුළුවන අහිතකර බැක්‌ටීරියාවන් සහ දිලීර වර්ග ඇතුළුවීම වලක්‌වයි. දිගින් දිගට සම ස්‌ක්‍රබ් කරන්නට යාමෙන් සමෙහි පවතින ස්‌වභාවික ආරක්‍ෂක යාන්ත්‍රණය දුර්වල වේ. එයින් අපට හානියක්‌ සිදුවේ. සම රළු ද්‍රව්‍ය යොදා ඇතිල්ලීමෙන් හැමවිටම අවාසියක්‌ මිස වාසියක්‌ සිදුනොවන බව රූපලාවණ්‍ය ක්‍රම පිටුපස දුවනා යුවතියන් සහ වැඩිහිටි කාන්තාවන් දැන සිටීම ඉතා වැදගත් වේ.


චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

No comments:

Post a Comment