Sunday, December 5, 2010

ටිකක්‌ තිත්තයි ඒත් හරිම ගුණයි මාළුවලින් පිළී ගඳ නැති සුප්

ගොටුකොළ පමණ උසස්‌ පලා වර්ගයක්‌ කොළ වර්ග අතර තවත් නැතැයි රාජකීය පණ්‌ඩිත විලියම් අල්විස්‌ සූරීහු "එළවළු ගුණ" නමැති එතුමාගේ ග්‍රන්ථයේ සඳහන් කරති.

වෙළෙඳ පොළෙහි ඉතාමත් ලස්‌සනට රවුම් ගොටු කොළ මිටි දක්‌නට තිබුණද, ගම්බද වැවෙන හීං කොටුකොළ තරම් ඒ ගොටුකොළ ගුණ නැති බවද එතුමා පවසයි. එහෙත් බොහෝ දෙනා සිතන්නේ හීං ගොටු කොළ වල ගුණයක්‌ නැති බවත් ගුණය ඇත්තේ අර ලස්‌සනට වැවුණු ගොටු කොළ බවත් කියාය.

හීං ගොටු කොළවල කොළ අඩුය. රිකිලි හා මුල් බහුලය. මුල් වැඩි නිසා මහ පොළොවෙන් ලැබෙන ධාතු ගුණ එහි වැඩිපුර තිබේ.

හීං ගොටුකොළවල යම් තරමකට තිත්ත රසයක්‌ තිබුණද පෝච්චිවල වවා ගත හැකි පඳුරු ගොටුකොළවල තිත්ත රසය නොමැත.

සංස්‌කෘත වෙද පොත්පත්වල ගොටු කොළවලට දී ඇත්තේ "සරස්‌වතී" සහ මහෞෂධ" යන නම් දෙකයි. එම නම්වලින් ම ගොටුකොළවල ඇති උසස්‌ ගුණය වැටහෙනු ඇත.

ගොටුකොළවලින් ගුණ ලබාගැනීමට නම් එක්‌කෝ අමුවෙන් කෑ යුතුය. නැත්නම් කැඳ සාදා පානය කළ යුතුය. එය වෑHංජනයක්‌ සේ පිළියෙළ කළොත් එහි ඇති ගුණය නැතිවේ.

ගොටුකොළ සියලුම රෝගවලට හොඳ බෙහෙතකි. ඒවා කොටා පෙරා ඉස්‌ම (යුෂ) බීවද හොඳය. නමුත් වැඩි පුර බීවොත් හිසරදය, ක්‌ලාන්තය, කරකැවිල්ල සෑදිය හැකි බවද විලියම් අල්විස්‌ සූරීහු පවසති.

ගොටුකොළ වේලා කුඩු කර තේ වතුර මෙන්ද උණු වතුරෙන් තම්බා පානය කළ හැකිය.

මස්‌ ආහාරයට නොගත්තද මාළු ආහාරයට ගන්නා අය සිටින බව අපි දනිමු.

සැබවින් ම, මාළු පෝෂණ ගුණයෙන් ඉතා අධික බත රසගන්වන කරියක්‌ ලෙසට පෙන්වා දිය හැකිය.

දුප්පත්, පොහොසත් වෙනසකින් තොරව මිලදී ගන්නා මාළුවල වැඩිම ප්‍රොaටීන සහ කැල්සියම් ප්‍රමාණයක්‌ ඇත්තේ කුඩා මාළුවලය.

මාළු අතුරින් කාරල්ලා සහ කටුවල්ලා රෝගීන් සඳහා සුප් පිළියෙල කිරීමට යොදා ගන්නා මාළු වර්ග වන අතර එවැනි මාළු භාවිත කිරීමට විශේෂ හේතුව එහි ඇති වැඩි පෝෂණ ප්‍රමාණය නිසාවෙන් ය.

කාරල්ලා, කටුවල්ලා වැනි මාළු වර්ගයක්‌ භාවිත කරමින් වැඩි පෝෂණයෙන් යුතු සුප් එකක්‌ පිළියෙල කර ගන්නේ කෙසේදැයි බලමු.

ඔබ තෝරාගත් මාළු වර්ගය හොඳින් සෝදා පිරිසිදුකර මැටි බඳුනකට දමා ගන්න. මාළු සුප් බීමට ඇතැම් අය අකමැත්තක්‌ දක්‌වන්නේ එහි ඇති පිළීගඳ නිසාවෙනි. විශේෂයෙන් ම කුඩා දරුවන්ට කොපමණ ගුණ වුවද පිළීගඳ දැනුනොත් එවැනි දෙයක්‌ පොවා ගැනීමට අපහසු වනු ඇත.

පිළීගඳ නොමැතිව මාළු සුප් සාදාගන්නේ කෙසේදැයි බලමු.

ඔබ සෝදා පිරිසිදුකරගත් මාළු හට්‌ටියට සේර ගසක්‌ තලා එක්‌කරන්න. තිබේනම් බේ ලීව්ස්‌ ටිකක්‌ දමා ගොරකා සහ ලුණු එක්‌කර හොඳින් තම්බා ගන්න. කිසිවිටෙකත් බඳුන වසන්න එපා. හුමාලයෙන් පිළීගඳ ඉවත්වන නිසාවෙන් බඳුන විවරකර තම්බා ගන්න.

තැම්බුණු මාළු ලිපෙන් ඉවතට ගෙන හොඳින් පොඩිකර (බ්ලෙන්ඩරයක්‌ තිබේ නම් එය භාවිත කරන්න) සිහින් දැල් සහිත පෙනේරයකින් පෙරාගන්න.

කැරට්‌ අලයක්‌ දෙකක්‌, අර්තාපල් ගෙඩියක්‌, බෝංචි කරල් දෙක තුනක්‌ ඉතාම සිහින්ව කපා ගන්න. ළුEනු ගෙඩි කිහිපයක්‌ද ඉතාම සිහින්ව කපා ගන්න. කපාගත් එළවළු සමඟ පෙරාගත් මාළු මිශ්‍රණය එක්‌කර, ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌ දමා ලිපතබා හොඳින් උතුරවා ගන්න. අවශ්‍ය පමණ ලුණු එකතු කර ගන්න.

ගම්මිරිස්‌ ඇට මාළු සුප් එකට එකතු කළ යුත්තේ සුප් එක උතුරන විටය. එයට හේතුව වැඩිපුර තැම්බීමේදී ගම්මිරිස්‌ ඇට පොඩි වී රසයට දැවිල්ලක්‌ එකතුවීම සහ සුප් එකේ වර්ණය වෙනස්‌වන නිසාවෙනි.

ගුණදායක මාළු පිළිබඳ තවත් විස්‌තර විමසා බලමු.

ලේ වඩන මාළු ලෙසින් කෙලවල්ලා බල මාළු හඳුන්වන අතර ඒවායේ උෂ්ණාධිකගතිය පවතින්නේ මාළුවල සමෙහි බව කියවෙයි. පැරණි අය එවැනි මාළුවල සම ඉවත්කර පිසීමට ගත් අතර ආහාරයේදී මාළු සමග පොල් එකතු කර ගත්හ. අද ද එම ක්‍රමය දන්නා අය අනුගමනය කරන අතර නොදන්නා ඔබත් උෂ්ණාධික යයි පවසන මාළු එලෙස පිළියෙල කර ගාගත් පොල් සමඟ ආහාරයට ගන්න.


ප්‍රවීණ සූපවේදිනී
නන්දනී අතුකෝරාළ

No comments:

Post a Comment