Sunday, December 5, 2010

ගැබිනි මවට ප්‍රෙෂර් නම්..

අධික රුධිර පීඩනය යනු සාමාන්‍ය පුද්ගලයෙකු තුළ සෞඛ්‍ය ගැටළු ගණනාවක්‌ ඇති කළ හැකි තත්ත්වයකි. මෙම තත්ත්වය ගර්භණී කාන්තාවන් තුළ ඇති වූ විට මෙවැනිම සෞඛ්‍ය ගැටළු වඩා තදින් පෙන්නුම් කරයි.


නීරෝගි ගර්භණී කාන්තාවකගේ ගර්භණී සමයේ මැද භාගයේදී ඇයගේ රුධිර පීඩනය ඉහළ යාම බොහෝ විට ගර්භණී සමයට පමණක්‌ සීමා වේ. මෙම තත්ත්වය බොහෝ විට පළමු පිළිසිඳ ගැනීමේදී බහුලව දක්‌නට ලැබේ. මෙම රුධිර පීඩනය වැඩිවීම ගර්භයේ මුල් අවධියේදීම සිදු නොවේ. නමුත් මුල සිටම පූර්ව ප්‍රසව සායනයකට සහභාගි වන මවකගේ මෙම තත්ත්වය මාස 5 ක්‌ පමණ වන විට හඳුනාගත හැකිවේ. මෙයට හේතුව වන්නේ රුධිර පීඩනය වැඩිවීමට පටන් ගැනෙන්නේ මෙම අවධියේදී වීමයි. ඉදිමුම මෙම තත්ත්වයේදී ඇති වන තවත් ලක්‌ෂණයක්‌ වන නමුත් සාමාන්‍ය ගර්භණී තත්ත්වයේදීද ඉදිමුම දැකිය හැකි බැවින් ඉදිමුම ඇති වූ පමණින් අධික රුධිර පීඩනය ඇති බව සැක කළ නොහැක. නමුත් පූර්ව ප්‍රසව සායනයේදී සිදු කරනු ලබන පරීක්‌ෂණ සහ රුධිර පීඩනය මැනීම මෙම තත්ත්වය හඳුනා ගැනීමට ඉතාම වැදගත් වේ.


ගැබ් ගැනීමට පෙර සිටම අධික රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවන්ගේ ද වෙනත් සංකූල තත්ත්වයන් තිබිය හැක. මේ අතරින් බහුතරයකගේ අධික රුධිර පීඩනයට පසුබිම් වූ හේතුවක්‌ නොමැති විය හැක. නමුත් වෙනත් පසුබිම් රෝග ආශ්‍රිතව අධික රුධිර පීඩනය ඇති වන අවස්‌ථා ඇත. එනම් වකුගඩු රෝග, රුධිර නාල ආශ්‍රිත ගැටළු, හෝමෝන ආශ්‍රිත රෝග වැනි තත්ත්වයන්ය. මෙවැනි කාන්තාවන් ගැබ් ගැනීමට පෙර එම රෝග සහ ඒ ආශ්‍රිත අධික රුධිර පීඩන තත්ත්වයන් නිසි ලෙස පාලනය කරගත යුතුය. කෙසේ වෙතත් අධික රුධිර පීඩනය ගර්භණී සමයේදී මවගේ සෞඛ්‍යයට කිහිප ආකාරයකින් අහිතකර තත්ත්වයන් ඇති කරයි.


මවගේ රුධිර පීඩනය වැඩිවීම ස්‌නායු පද්ධතියට ඇති කරන බලපෑම් මගින් ඇයගේ මොළයේ ලේ ගැලීම්, ස්‌නායු ආබාධ, වලිප්පුව වැනි තත්ත්වයන්, සිහිමුර්ජාවීම් පවා ඇති විය හැක. අක්‌ෂි ආබාධ ඇති වීමෙන් අන්ධභාවය ඇති වන අවස්‌ථා ද ඇත. වෙනත් හෘද රෝග, අක්‌මාව ආශ්‍රිත අසාධ්‍ය තත්ත්වයන් සහ වකුගඩුවලට සිදුවන හානීන් ද ඇත.


ගර්භණී සමයේදී ඇති වන අධි රුධිර පීඩන තත්ත්වය හානිකර වන්නේ මවගේ සෞඛ්‍යයට පමණක්‌ නොවේ. ළදරු කළලයට සිදු වන හානිය තවත් බරපතල විය හැක. කළලයේ වැඩීම බාල වීමෙන් අඩු උපත් බරකින් යුත් දරුවන් බිහි වීමට අමතරව නොමේරූ ළදරුවන් ඉපදීමෙන් බොහෝ කරදරකාරී තත්ත්වයන් ඇති විය හැක. මෙම තත්ත්වය තදින්ම ඇති විට කළලයේ වැඩීම අතරමඟ නතර වන අවස්‌ථා ඇත. ඉහත හේතූන් මත පූර්ව ප්‍රසව සායනයන්හිදී කෙරෙන පරීක්‌ෂණ සහ සොයා බැලීම් ඉතා වැදගත් වේ. නිසි කලට ඒවාට සහභාගිවීම මවගේ යුතුකම වේ. සායනයේදී රුධිර පීඩනය වැඩි බව තහවුරු වූ විට රෝහල් ගත කර එය පාලනය කිරීම සිදු වේ. මේ සඳහා බොහෝවිට භාවිත වන්නේ පෙති වශයෙන් ලබාදෙන ඖෂධයන්ය. ඉතා දරුණු ත්ත්ත්වයකදී එන්නත් ලබාදීම සිදු වේ. රුධිර පීඩනය පාලනය වූ පසු රෝහලින් පිට කර සායනයට යොමු කෙරේ. කාර්ය බහුල මවක්‌ නම් රෝහලේ දී ලැබෙන විවේකය වැදගත්ය. මෙම තත්ත්වය ඇති විට මානසික හා කායික විවේකය ඉතා වැදගත්ය. එබැවින් මවකට මෙම තත්ත්වයට ගැළපෙන අයුරින් තම දින චර්යාව වෙනස්‌ කරගැනීම වැදගත්ය. වඩාත්ම වැදගත් වන්නේ තම වෛද්‍යවරයාට ලබා දෙන සහයෝගයයි. දරු ප්‍රසූතියෙන් පසු රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්විය හැක. එසේ වේ නම් වෛද්‍ය උපදෙස්‌ මත ඖෂධ නතර කළ හැක. මේ සඳහා දරු ප්‍රසූතියෙන් සති 6 කට පසු සායනයට පැමිණ වෛද්‍යවරයා මුණගැසීම වැදගත්ය.


ඉදිරි පවුල් සැලසුම් සම්බන්ධව වෛද්‍ය උපදෙස්‌ ද ලබාගත යුතුය.


වෛද්‍ය
චම්පා නෙල්සන්

No comments:

Post a Comment