Sunday, December 5, 2010

මොකක්‌ද මේ ආඝාතය

සෑම හයදෙනෙකුගෙන්ම එක්‌ අයෙකුට අවදානම ගෙනෙන ආඝාතය ඔබගෙන් සමහරෙක්‌ තව ම හිතනවා ඇති. ආඝාතය කියන්නේ රෝගී තත්ත්වයක්‌. සෑම හය දෙනෙකුගෙන්ම එක්‌ අයෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ මෙම රෝග තත්ත්වයට ගොදුරු විය හැකි බව සොයාගෙන තිබේ.

ආඝාතය යනු රෝග ලක්‌ෂණ රාශියකින් සමන්විත වූ බෝ නොවන රෝග ගණයට අයත් වන රෝගයක්‌. සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි අංශභාගය ලෙස හඳුන්වන්නෙත් මෙයයි. මෙහි රෝග ලක්‌ෂණ ලෙස ශරීරයේ සිදුවන අසාමාන්‍යතාවන්, සුළු හිරිවැටීමක්‌ වැනි දේ පෙන්වා දෙන්න පුළුවන්. ආඝාතය නිසා මරණය පවා සිදුවිය හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්‌තෝබර් 29 වෙනිදා ලෝක ආඝාත දිනය (උදරකා sඑරදනැ daහ) ලෙස නම් කර තිබේ. ලෝක ආඝාත සංවිධානය මඟින් බලාපොරොත්තු වන්නේ රෝග තත්ත්වය හරි හැටි හඳුනාගැනීම, ප්‍රතිකාර මඟින් රෝග නිවාරණය සහ එවැනි රෝගීන් පුනරුත්තාපනය කිරීම සහ දීර්ඝකාලිනව උදව්කිරිමයි.

අපගේ මොළයට රුධිරය සපයන රුධිර වාහිනී ජාලගතව පවතින අතර විවිධ හේතු නිසා මෙම රුධිර නාල තුළ ශරීරයට අහිතකර මේද වර්ග ලෙස හඳුන්වන කොලෙස්‌ටරෝල් තැන්පත්වීමෙන් එම නාල අවහිරවීම හෝ රුධිරය ගමන් ගන්නා සිදුර කුඩාවීමක්‌ වේ.

මෙහිදී රුධිර වාහිනී අවහිරවීම නිසා මොළයේ සමහර කොටස්‌වලට රුධිර සැපයීම අඩුවීම හෝ නතරවීම විය හැකියි. මෙවැනි කෙනෙකුට ආඝාතය ඇතිවිය හැකියි. මෙම ආකාරයට සියයට අසූපහක්‌ පමණ ආඝාතයට ගොදුරු වේ.

රුධිර වාහිනි අවහිර වූ ස්‌ථාන දුර්වල වී පුපුරා යාමෙන් මොළයේ ඇතිවන රුධිරවහනය නිසාද ආඝාත තත්ත්වය ඇතිවේ. මෙවැනි තත්ත්වයට ගොදුරු වන්නේ රෝගින්ගෙන් සියයට පහළොවක ප්‍රමාණයකි.

මේ සියලු අවස්‌ථාවලින් සිදුවන්නේ මොළයේ යම් කොටසක ක්‍රියාකාරිත්වයට බාධා පැමිණිම හෝ අඩපණ වීමයි. අපගේ ශරීරයේ සියලු කොටස්‌ පාලනය කිරීම සඳහා විවිධ වූ විශේෂිත අංශ අපගේ මොළය තුළ වේ. මොළයේ එක්‌ එක්‌ කොටසේ සිදුවන රුධිර නොලැබීම නිසාවෙන් එම කොටස මඟින් පාලනය කරන ශරීර අංගයේ අවයව, ඉන්ද්‍රියන් දුර්වලවීම එසේත් නොමැති නම් පණ නැතිවීම වේ.

මෙම රෝගයේ අවස්‌ථා 02 ක්‌ හඳුනා ගත හැකියි.



සුළු ආඝාත තත්ත්වය

රෝග ලක්‌ෂණ පැය 24 ක්‌ ඇතුළත යථා තත්ත්වයට පත්වුවහොත් එය සුළු ආඝාත තත්ත්වයක්‌ හෝ තාවකාලිකව සිදු වූ රුධිර නොලැබී යාමක්‌ ලෙස හඳුනාගත හැකිය. මෙම රෝගී තත්ත්වයේදී ඉතා ඉක්‌මණින් වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මඟින් පූර්ණ ලෙස අංශභාග තත්ත්වය ඇති වීමෙන් මිදිය හැකියි.



සුළු ආඝාතයේ රෝග ලක්‌ෂණ

* අතක පයක හෝ මුහුණේ ඇතිවන හිරිවැටීම

* එකවර ඇතිවී නැතිව යන ක්‌ලාන්ත ගතිය

* කථා කිරිමේ හෝ තේරුම් ගැනීමේ අපහසුතා

* ඇසක සිදුවන පෙනීමේ අඩුවීම හෝ නොපෙනී යාම

* හඳුනාගත නොහැකි හේතුවක්‌ නිසා ඇතිවන තද හිසරදය

* ශරීරයේ සමබරතාව බිඳීයාම

* ඇවිදීමේදී අපහසුතා ඇතිවීම

(මෙම රෝග ලක්‌ෂණ හදිසියේ පහළ වී පැය 24 ක්‌ ඇතුළත ක්‍රමයෙන් නැතිවී යා හැකිය.)



පූර්ණ ආඝාතයේ රෝග ලක්‌ෂණ

* ශරීරයේ අංශයක හෝ කොටසක පණ නැති වී යාම

* ඇස්‌ නොපෙනී යාම

* එක්‌ කනක හෝ කන් දෙකෙහිම ඇති වන ශ්‍රවණ ආබාධ

* සමෙහි ඇතිවන ආසාමාන්‍ය සංවේදනා හෝ හිරිවැටීම

* ඇවිදීමේදී ඇතිවන අපහසුතා

* මුහුණේ හෝ කට පැත්තකට ඇද වී යාම

* හඩ පිටවීම දුර්වල වීම

* හෘදයාබාධ ඇතුළු අනෙකුත් ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවිරහිතවීම

* ශ්වසන අපහසුතා

* සදාකාලික ආබාධිත තත්ත්වය හෝ මරණය (කලින් සුළු ආඝාත ලක්‌ෂණ 1 ක්‌ හෝ කිහිපයක්‌ දීර්ඝ කාලීනව පැවතීම පසුකලෙක පූර්ණ කාලීන ආඝාත රෝගයට හේතු විය හැකියි.





ආඝාතය රෝගය සඳහා

බලපෑ හැකි සාධක

* අධික රුධිර පීඩනය සහ රුධිරයේ කොලෙස්‌ටරෝල් ප්‍රමාණය ඉහළයාම

* දුම්පානය

* ගනු ලබන අහිතකර ආහාර වර්ග (ක්‌ෂණික කෑම, විවිධ රසකාරක)

* ශාරිරික ව්‍යායාම සහ ක්‍රියාකාරකම්වලින් ඉවත්වීම

* දියවැඩියාව

* ස්‌ථුලතාවය

* මානසික ආතතිය

* වයස්‌ගතවීම සහ ජානගත සාධකයන්

කෙනෙකු වයස්‌ගතවීම සහ පවුලේ කෙනෙකුට කලින් මෙම රෝගය වැළඳී තිබේ නම් ඉහත අපි සඳහන් කළ රෝගවලින් ඉවත්වීම සහ වැරදි පුරුදුවලින් ඉවත්වීම ආඝාතය සෑදීමේ අවධානමෙන් ඔවුන් ඉවත් කරයි. වයස අවුරුදු 60 ඉක්‌ම වූ ජනතාවගේ දෙවැනියට වැඩි මරණ සංඛ්‍යාවක්‌ සිදුවන්නේ ආඝාත රෝගයෙන් බව පෙන්වා දේ. වසරකට ලෝක ජනගහනයෙන් මිලියන හයකට ආසන්න ප්‍රමාණයක්‌ ආඝාතයෙන් මියයයි.



ආඝාත රෝගය

වලක්‌වා ගැනීම සඳහා

* ඔබගේ රුධිර පීඩනය මැන බලා නියමිත පරාසය තුළ පවත්වා ගැනීම

* දුම් සහ මත්ද්‍රව්‍යවලින් ඉවත්වීම

* ගනු ලබන අහිතකර ආහාර, ක්‌ෂණික ආහාර, සීනි, ලුණු සහ තෙල්වලින් හැකි තරම් ඉවත්වීම, නැවුම් එළවළු, පලතුරු ආහාර වේලට එකතු කර ගැනීම

* ශාරිරික ව්‍යායාමවල යෙදීම

* උසට සරිලන බර පවත්වා ගැනීම

* මනස සැහැල්ලුව තබා ගැනීම

පෙර ආඝාත තත්ත්ව හෝ සුළු ආඝාත ලක්‌ෂණ දැනී තිබෙනවා නම් ඉක්‌මනින් රෝහල කරායාම

මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී රෝග ලක්‌ෂණ පහළ වී රෝහල වෙත පැමිණෙන රෝගියා මොළයේ සී.ටී (Cගඔ) ස්‌කෑන් පරික්‌ෂණයකට භාජනය කරන අතර මෙහිදී රුධිර නාල අවහිරවීමක්‌ ද නැත්නම් නාල පුපුරායාමක්‌ ද යන්න සොයා බලා ප්‍රතිකාර ආරම්භ කෙරේ. මෙම ප්‍රතිකාර කිරිම කරන අතරේ ඔවුන් පුනරුත්ථාපනය කිරිමේ ප්‍රතිකාරයන් ද ආරම්භ කර තිබේ.

ලෝක ආඝාත දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති සම්මන්ත්‍රණ මාලාව ඇසුරෙනි.

No comments:

Post a Comment