Sunday, December 5, 2010

කුරුලෑවලට නිවසේදී අත් බෙහෙත්

සම වර්ගීකරණය කිරීමේ දී තෙල් සහිත සම ගැන බොහෝ අදහස්‌ දැක්‌විය හැක. තෙල් සහිත සමක බොහෝමයක්‌ දැකිය හැක්‌කේ කුරුලෑ කිවහොත් නිවැරදි යි. එහෙත් ඇතැම් තෙල් සහිත සමක කුරුලෑ නොමැත. කුරුලෑ ඇති සමක ඇති තවත් ලක්‌ෂණයක්‌ නම් හිස්‌ හොරි ද ඇතිවීම ය. හිස්‌හොරි බොහෝ ඇති හිසක තෙල් සහිත මුහුණක්‌ දක්‌නට ලැබීමද, එම සමෙහි කුරුලෑ ඇති වීමද බොහෝ දක්‌නට ලැබේ. අප කුරුලෑවලට ප්‍රතිකාර කරන්නේ නම් හිසකෙස්‌ සේදීමේදී ද වඩාත් සැලකිලිමත් විය යුතුයි. මන්ද අප හිසට කෙලින් ම වතුර දමා සෝදන්නේ නම් ඒවා මුහුණට වැටීමෙන් කුරුලෑ වැඩි වීමද පිට හා පපු පෙදෙසට වැටීමෙන් එම ප්‍රදේශවල කුරුලෑ ඇතිවීමද බොහාවිට දක්‌නට ලැබේ.

ඒ අනුව හිස ශැම්පො දමා සේදීමේදී කෙස්‌ පහලට දමා (හිස බිමට නමා) සේදීමෙන් කුරුලෑ අවම කරගත හැක. මේ සඳහා අපට පහත සඳහන් කෙටි ප්‍රතිකාර කර ගත හැක. තෙල් සහිත සමක කුරුලෑ ඇතිවන හෙයින් මුහුණ සේදීමේදී මද රස්‌නය වතුරින් සේදීම කළ යුතු වේ. අනතුරුව මුහුණ තෙත මාත්තු කළ යුතුවේ. මුහුණෙ කුරුලෑ ඇති විට ස්‌ක්‍රබ් කිරීම නොකළ යුතුවේ. මන්ද ඒ මඟින් කුරුලෑ කැඩී තවත් පැතිරෙන හෙයිනි.

මෙවැනි සමක්‌ පිරිසිදු කිරීම සඳහා සුදු හඳුන් කුඩු තේ හැඳි 2 ක්‌, කස්‌තුරි කුඩු තේ හැඳි 1/4 ක්‌ පමණ, මී පැණි ස්‌වල්පයක්‌ හා දෙහි බිංදු කීපයක්‌ රෝස වතුරින් මිශ්‍ර කර මුහුණ ආලේප කර විනාඩි 20 කට පමණ, පසුව සෝදා ගැනීම දින 2 කට වරක්‌ කිරීමෙන් කුරුලෑ ඒම අවම කරගත හැකි අතර, කුරුලෑ නිසා මුහුණේ ඇති කලු පැල්ලම් ද අඩු වී යනු ඇත.

මීට අමතරව සිහින්ව අඹරා ගත් කොහොඹ කොළවලට කස්‌තුරි කහ කුඩු තේ හැඳි 1/4 ක්‌ පමණ එකතු කර මුහුණේ ආලේප කර වි.20 කට පමණ පසුව සෝදා ඉවත් කිරීමෙන්ද දින 2 කට වරක්‌ සති 2 ක්‌ පමණ කිරිමෙන් කුරුලෑ අවම කර ගත හැකියි.

තවද කඩල හෝ මුං ඇට පිටි මේස හැඳි 2 කට, මී පැණි හා රෝස වතුර දමා මිශ්‍ර කර මුහුණේa ආලේප කර විනාඩි 20 කට පසුව සෝදා ඉවත් කිරීමෙන් කුරුලෑ අවම කර ගත හැකියි. දිනපතා පිරිසිදු ජලය පානය කිරීමත්, තෙල් සහිත ආහාර නොගැනීමත්, අලුත් එළවලු මෙන්ම පලතුරු දිනපතා ආහාරයට එක්‌කර ගැනීමත් කුරුලෑ අවම කර ගැනීමට පිටුවහලක්‌ වේ.


-රූපලාවන්‍ය ශිල්පිනී ග්‍රේස්‌ සී. ගන්කන්ද

No comments:

Post a Comment