Monday, December 13, 2010

ගැබ්ගෙලෙහි ඇති වැදගත්කම

කාන්තා ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් ඉතා වැදගත් ව්‍යහයක්‌ ලෙස ගැබ්ගෙල හඳුන්වාදිය හැකියි. මෙය වෛද්‍ය විද්‍යාව තුළ සර්වික්‌ස්‌ ලෙස හඳුන්වයි. යෝනි මාර්ගයේ තිබෙන සම්බන්ධතාවය ගර්භාෂය කරා යොමුවන්නේ ගර්භාෂයේ පහළ කොටස වන ගැබ්ගෙල හරහා ය. මෙය සෙන්ටිමීටර් 2-5 අතර දිගකින් යුක්‌ත වේ.

ගැබ්ගෙලෙහි ඇති මාංශ පේශී ගර්භාෂයේ පිහිටි මාංශ පේශීවලට වඩා වෙනස්‌ වන අතර එහි ඇති ඉලාස්‌ටින් පටක ඉතා ඝනකමින් යුක්‌ත වේ.

ගැබ්ගෙල මගින් සංසර්ගයේදී යෝනි මාර්ගයේ තැන්පත් වන ශුක්‍රාණු ගර්භාෂය කරා යොමු කිරීමට මෙන්ම නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක්‌ ඇති ශුක්‍රාණු ගර්භාෂය වෙත යොමු කිරීමට ද වැදගත් වේ.

ශුක්‍රාණු යොමුවීමෙන් පසු සංසේචනයෙන් ඇතිවන ප්‍රතිඵලය නිරෝගීවන්නට සුදුසු වාතාවරණය තීරණය කරන්නෙත් ගැබ්ගෙලෙහි පවතින මියුකස්‌ ලෙස හඳුන්වන ස්‍රාවය මගිනි.

එමෙන්ම ඔසප්වීම සිදුවී ගර්භාෂය තුළ වන රුධිර වහනය පිටතට එනු ලබන්නේ ද ගැබ්ගෙල හරහා ය. කලාතුරකින් ගර්භාෂයේ තිබෙනා ඇතැම් රෝග තත්ත්වයන් ද ගැබ්ගෙලෙහි ද ඇති වේ.

උදාහරණයක්‌ ලෙස ගර්භාෂයේ හටගන්නා ෆයිෙඩ්‍රායිඩ් වැනි ගෙඩි වර්ග ගැබ්ගෙලෙහි ද ඇතිවිය හැකියි. මෙවන් රෝග ගැබ්ගෙලෙහි හටගත් විට සාමාන්‍ය ප්‍රසූතියක්‌ මගින් දරුවන් බිහිවීමේදී අපහසුතා ඇතිවෙන්නට ඉඩ ඇත.

එමෙන්ම ගර්භාෂයේ ඇතිවන ඔසප්, යෝනි මාර්ගයට ඒමේදී බාධා ඇතිවිය හැකියි.

ගැබ්ගෙලෙහි ඇතිවන දරුණු සෞඛ්‍ය ගැටළුව වන්නේ ගැබ්ගෙල පිළිකාය. වාසනාවකට මෙන් ගැබ්ගෙලෙහි ඇතිවන පිළිකා පූර්ව පිළිකා තත්ත්වය යටතේ හඳුනා ගත හැකියි. මේ සඳහා වෛද්‍යවරුන් විසින් පැප් පරීක්‍ෂණය භාවිත කරයි.

ඊට අමතරව HPV වෛරස පරික්‍ෂා මඟින් පවා ගැබ්ගෙල පිළිකා ඉතා මූලික අවස්‌ථාවේ දී සොයාගත හැකියි.

මේ වනවිට ලංකාවේ කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වලක්‌වා ගැනීම සඳහා HPV වෛරසය සඳහා ලබාදෙන එන්නත ඉවහල් වී ඇත. මෙම එන්නත ලබාගැනීමෙන් ගැබ්ගෙල පිළිකාවලින් වැඩි ප්‍රතිශතයක්‌ වලක්‌වා ගත හැකියි. විශේෂයෙන් විවාහ නොවූ කාන්තාවන්ට සහ දියණියන්ට මේ හැකියාව ලැබී ඇත.

ගැබ්ගෙල මත සිදුකරනා විවිධ ශල්‍යකර්ම ගැබ්ගෙල පිළිකාවලදී ඇතිවන පූර්ව පිළිකා තත්ත්ව සහ ගැබ්ගෙලෙහි ඇතිවන ෆයිඩ්‍රායිඩ් වැනි ගෙඩි, මස්‌ වැදලි වැනි තත්ත්ව කාන්තාව ශල්‍ය කර්මවලට භාජනය කිරීමේදී ඉතා විමසිලිමත් විය යුතු තත්ත්වයන් වේ. මෙසේ කළ යුත්තේ කාන්තාවන්ගේ සඵලතාවය ආරක්‍ෂා කරගත යුතු නිසාය.

ගර්භනී තත්ත්වයට පත් වූ කාන්තාවන්ට ගැබ්ගෙලෙහි දිග වැදගත් වන්නේ ගබ්සාවලින් වැලකීම සඳහාය. විශේෂයෙන්ම ගැබ් ගෙලෙහි දිග ඉතා වැදගත් වන්නේ "ප්‍රී මැචුවර් බර්ත්" හෙවත් මාස 9 කට අඩු දරු උපත් සිදුවීම වලක්‌වා ගැනීම සඳහා ය.

ගැබ්ගෙලෙහි ඇතිවන ලිහිල් බව සහ ගැබ්ගෙලෙහි ඇති වෙනත් අඩුපාඩුකම්වලින් මිදීම සඳහා වෛද්‍යවෙරුන් විසින් ගැබ්ගෙලට මැහුමක්‌ යොදන අතර එය "සර්වයිකල් සූචර්" නැතහොත් "ශිරෝත්කා සූචර්" ලෙස හඳුන්වයි. මෙසේ කිරීමෙන් ගැබ්ගෙලෙහි ඇතිවන ලිහිල් තත්ත්වය මඟහරවා ගත හැකියි.

අද වනවිට ගැබ්ගෙලෙහි ඇතිවන පූර්ව පිළිකා තත්ත්වයන් සොයා ගැනීම සඳහා "කොල්පොස්‌කොපි" නමැති පරීක්‍ෂණය භාවිත කරන අතර ඒ මඟින් ගැබ්ගෙලහි පූර්ව පිළිකා තත්ත්වය තිබෙනා ස්‌ථානය හරිහැටි හඳුනා ගත හැකිය. මේ තුළින් විශාල ශල්‍යකර්මයක්‌ නොකොට සුළු ශල්‍යකර්මයක්‌ මඟින් මෙවැනි පිළිකා තත්ත්වයන් ඉවත් කර ගත හැකියි.


ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍ය
නලින්ද රොද්‍රිගු

1 comment:

  1. ගොඩක් ස්තූති මං.student midwife කෙනෙක්.මේ විස්තරය ගොඩක් වැදගත් උනා Assignment වලට.

    ReplyDelete