Sunday, November 28, 2010

මෙන්න අපේ සිංහල කෑම

අප දේශීය ආහාර පිළිබඳ විමසිලිමත් වූ ප්‍රමාණය අනුව අපට අනන්‍ය වූ ආහාර ද්‍රව්‍ය තිබී ඇති බවත්, දැනටමත් රටේ සමහර ප්‍රදේශවල එම ආහාර පිළියෙල කරන බවත් අපට දැකගත හැකි විය. එසේම සමහර පුද්ගලයන් එම ආහාර ද්‍රව්‍යයන් සුරැකීම සඳහා කටයුතු කරන අයුරු ද අපට දැකගත හැකි විය. මෙහිදී අප පළමුවෙන්ම සඳහන් කරන්නේ එම කටයුත්තේ නිරත වී සිටින බදුල්ල ජෛව විවිධත්ව මධ්‍යස්‌ථානය පිළිබඳවය. එම සංවිධානයේ ප්‍රධාන සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කරන්නේ එස්‌. අත්තනායක මහතාය.

අත්තනායක මහතා අප හා සඳහන් කළ ආකාරයට කුරහන් තලප පමණක්‌ නොව කුරක්‌කන්වලින්ම නිෂ්පාදනය කරන දෝසි මෙන්ම කොණ්‌ඩ කැවුම්, කී රොටි, පුස්‌නාම්බු, උදුවැල්, කලුපොල් මාලුව, බිලිං බැඳුම, මිශ්‍ර එළවළු ආනම, ඌවේ හත්මාළුව, තැම්බුම් හොද්ද රෑ කායම් හොද්ද, ඔඩිතාලම් ලුණුමිරිස, කොල්ලු ආනම ඇතුළු ද්‍රව්‍යයන්ට අපට හිමිකම් කිව හැක.

ඒ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කිරීමට මත්තෙන් එම ආහාර ද්‍රව්‍යයන් පිළියෙල කරගන්නා ආකාරය සලකා බලමු.

කොණ්‌ඩ කැවම්

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි 500 ට

සීනි 100 ට

පැණි බෝතල් 1/2

තම්බා ගන්නා ලද පාන් පිටි ස්‌වල්පයක්‌

සාදා ගන්නා ආකාරය

හාල්පිටි, පාන් පිටි, සීනි, පැණි, ලුණු ස්‌වල්පයක්‌ එක්‌ කොට තරමක්‌ ඝන වන සේ සකසා ගන්න. රත් කරන ලද තෙල්වලට පිටි ස්‌වල්පයක්‌ බැගින් දමා කැටවී ගෙන එන විට එහි මැද ඉරටුවකින් සිදුරු කර මැද පිටි ටික මුදුනට කොණ්‌ඩයක්‌ සේ එන්නට සලස්‌වන්න. ඉරටුව කරකවමින් තෙල් ඉසින විට කොණ්‌ඩය මුදුනට එනු ඇත.

කී රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් සේරු 1 1/2

පොල් ගෙඩි 2

සීනි 500 ට

කරදමුංගු කුරුඳු පොතු

වැනිලා ස්‌වල්පයක්‌

ආප්ප සෝඩා තේ හැඳි 1

ලුණු

සාදා ගන්නා ආකාරය

පළමුව හාල් සේරුවක පිටි ගෙන ආප්ප සෝඩා හා ලුණු දමා පිටි (ආප්පවලට මෙන්) අනාගන්න. මෙය පැය 06 ක්‌ පමණ වේලාවක්‌ පිපෙන්නට තබා පසුව පොල්ගෙඩියක කිරි දමා පදමට අනාගන්න. ඉන් පසු තාච්චුව ලිප තබා ආප්ප සාදාගන්න.

කිරි පැමිණි මිශ්‍රණය

පොල්ගෙඩියක කිරි මිරිකා එයට හාල් පිටි, සීනි, ලුණු, කරදමුංගු, කුරුඳු, වැනිලා ආදිය දමා උකු මිශ්‍රණයක්‌ හදන්න. එයට කලින් සාදා ගත් ආප්ප දමා මඳ වේලාවක්‌ තබා ආහාරයට ගන්න.

පුස්‌නාම්බු

අවශ්‍ය ද්‍රව්‍ය -

ඉරිඟු පිටි 250

හාල් පිටි 100 ට

කිතුල් පැණි

දවසක්‌ පරණ පොල් වතුර ටිකක්‌

ඉදුණු ආනමාලු කෙසෙල්ගෙඩියක්‌

ලුණු

සාදා ගන්නා ආකාරය -

අඹරා ගත් ඉරිඟු පිටි හා හාල් පිටිවලට පැණි අවශ්‍ය පමණ ද, පොල් වතුර මේස හැඳි 2 ක්‌ පමණ ද හොඳින් පොඩි කරගත් කෙසෙල් ද දමා මිශ්‍ර කර ලුණු ස්‌වල්පයක්‌ දමන්න. ආප්ප පදමට මිශ්‍රණය සාදා පැය 06 ක්‌ 08 ක්‌ පමණ වසා තබන්න. (රාත්‍රියේ සෑදු මිශ්‍රණය උදේ පාවිච්චි කළ හැක) උදේ කඩපිම්ම බැඳ වළඳක්‌ ලිප තබා මිශ්‍රණයෙන් කෝප්ප 1/2 ක්‌ පමණ තම්බා ගන්න. (කඩපිම්මට කෙසෙල් කොළයක්‌ අතුරන්න) හොදින් තැම්බී මුදුන පුපුරන විට බිමට ගන්න. මෙසේ එකින් එක තම්බා ගන්න.

උඳු වැල්

අවශ්‍ය ද්‍රව්‍ය -

උඳු 500 ට

හාල්පිටි 250

ලුණු සෑහෙන පමණ

පොල් කිරි ස්‌වල්පයක්‌

ආනමාලු කෙසෙල්ගෙඩියක්‌

කිතුල් පැණි

සාදා ගන්නා ආකාරය

උඳු පැය කිහිපයක්‌ පෙගෙන්නට හරින්න. ඉන්පසු හොඳින් අඹරා ගත් උඳුවලට හාල්පිටි, ලුණු, පොල්කිරි හා ආනමාලුගෙඩිය ද එකතු කර ආප්පවලට යොදා ගන්න. පදමට සාදා ගන්න. ඝන රෙදි කැබැල්ලක බොත්තම් කාසයක්‌ මසා ඒ මතට සාදා ගත් පිටි මිශ්‍රණය ටික ටික දමා රත් වූ තෙලට රවුමට වත් කරන්න. රන්වන් පැහැය වන තෙක්‌ බැඳ ගන්න. උණු කර නිවා ගත් පැණි බඳුනට දමා පැණි උරා ගත් පසු පිටතට කෑමට ගන්න.

කලූපොල් මාලූව

අවශ්‍ය ද්‍රව්‍ය -

තම්බාගත් කොස්‌ ඇට කෝප්ප 1 ක්‌

බැදපු මිරිස්‌ කුඩු

බැදපු තුනපහ කුඩු

පොල් කිරි කෝප්ප 2 ක්‌ පමණ

තක්‌කාලි

කහ

සුදු ලූනු

රතු ලූනු

අමු මිරිස්‌, කරපිංචා, රම්පේ

සාදාගන්නා ආකාරය

කොස්‌ ඇට සෝදා හොඳට පොඩිවන සේ තම්බාගන්න. (අලුත් කොස්‌ ඇට) ඉන් පසු බැදපු මිරිස්‌ කුඩු, බැදපු තුනපහ කුඩු, කහ ආදිය මිශ්‍ර කරන්න. එයට ලූනු, අමු මිරිස්‌, කරපිංචා, තක්‌කාලි, කුරුඳු ආදිය එක්‌ කරන්න. ඉන් පසු තෙල් රත්වන්නට හැර එයට රම්පේ, අබ ආදිය දමා රත්වූ පසු මිශ්‍රණය ද දමන්න. තැම්බීගෙන එන විට පොල් හා හාල් බැඳ හොඳට අඹරා එය ද එක්‌ කරන්න. ඉන් පසු පොල් කිරි කෝප්ප 2 ක්‌ එක්‌කර හොඳින් උතුරා ලිපෙන් බා කෑමට ගන්න.

බිලිං බැඳුම

අවශ්‍ය ද්‍රව්‍ය -

තරමක්‌ පැසුණු බිලිං ගෙඩි 25

රතු ලූනු 150 ට

උම්බකඩ කුඩු මේස හැඳි 2

බැදපු මිරිස්‌ මේස හැඳි 2

බැඳපු තුනපහ සුවඳ කුඩු මේස හැඳි 1

කරපිංචා

රම්පෙ

පොල්තෙල් ස්‌වල්පයක්‌

ලුණු අවශ්‍ය තරමට

සුදු ලූනු බික්‌ 2 ක්‌

සාදන ක්‍රමය -

බිලිං සෝදා සිහින්ව දිග අතට සහ හරහට තීරු මෙන් සිහින්ව ලියාගන්න. ලුණු දමා මිරිකා ගන්න. නැවත වතුරෙන් සෝදා ගන්න. දිය හොඳින් මිරිකා හරින්න. තාච්චියකට තෙල් ස්‌වල්පයක්‌ දමා ලිප තබන්න. රත්වන විට රම්පෙ කරපිංචා අඹරන ලද සුදු ලූනු එකතු කරන්න. සුවඳ දැනෙන විට උම්බලකඩ කුඩු ද එක්‌ කරන්න. බැඳපු මිරිස්‌ හා තුනපහ ද කවලම් කරන ලද බිලිං කැබලි ද එයට දමා මිශ්‍ර කරගන්න. අවශ්‍ය පදමට ලුණු ද දමන්න. දියර ගතිය සිඳී ගිය පසු ලිපෙන් ඉවත් කරගන්න.

මිශ්‍ර එළවළු ආනම

අවශ්‍ය ද්‍රව්‍ය -

මෑ කරල්, මුං ඇට, ගැට කරවිල

කොස්‌ඇට, වට්‌ටක්‌කා, බණ්‌ඩක්‌කා

ලීමා කොළ

පොල් තෙල්

මිරිස්‌, තුන පහ, කහ, රතුලූනු, සුදු ලූනු

රම්පේ, කරපිංචා, තක්‌කාලි

උම්බලකඩ

ලුණු

සාදා ගන්නා ආකාරය -

එළවළු වර්ග සියල්ල සෝදා කපා හට්‌ටියකට දමා සියලුම ද්‍රව්‍ය මිශ්‍ර කර වතුර දමා හොඳින් තම්බන්න. එයට කුරක්‌කන් පිටි මේස හැන්දක්‌ දමා උයාගන්න. පසුව තෙම්පරාදු කර ගන්න.

ඌවේ හත්මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය -

අල වර්ග - කොහාල, බතල

ගෙඩි වර්ග - වට්‌ටක්‌කා, අළු කෙසෙල්

මල් වර්ග - කතුරුමුරුංගා, වට්‌ටක්‌කා

කොළ වර්ග - මුකුණුවැන්න, සාරණ, කූර, තම්පලා

කරල් වර්ග - දඹල, මෑ, බෝංචි

ඇට වර්ග - ලීමෑ, කොස්‌ ඇට

දළු වර්ග - මෑ දලු, වට්‌ටක්‌කා දලු, චච් දලු

තුනපහ, ලුණු, රතුලූනු, අමුමිරිස්‌, කරපිංචා, පොල් කිරි

සාදා ගන්නා ආකාරය

කොස්‌ ඇට තලා පොතු ඉවත් කර ගන්න. අනෙකුත් ද්‍රව්‍ය කුඩාවට කපා ගන්න. තැම්බීමට වෙලා ගන්නා කොස්‌ ඇට පළමුව වතුර ස්‌වල්පයක්‌ දමා ලිප තබා ගන්න. (දිය කිරි වුවද භාවිත කළ හැක) ඉන් පසු ඉතිරි සියල්ලම ද තුනපහ, ලුණු, රතු ලූනු, අමුමිරිස්‌ කපා එය ද කරපිංචා ද එකතු කර ගන්න. මේ සියල්ලම තැම්බීම සඳහා දියකිරි හෝ වතුර ස්‌වල්පයක්‌ යෙදිය හැක. ඉන් පසු මිටි කිරි එකතු කර මඳ ගින්නේ ලිප තබා ඉස්‌ම සිඳී යන්නේ නම් තෙත ගතිය ඇතිවන සේ උයාගන්න. ලිපෙන් බා කුළු බඩු (රම්පෙ, කරපිංචා, කුරුඳු, එනසාල්, කරාබු නැටි කබලේ බැද වංගෙඩියේ කොටා සකසා ගත් මිශ්‍රණය) ස්‌වල්පයක්‌ හත් මාළුවට උඩින් ඉස ගන්න පෝෂණ ගුණය සලකා තෙම්පරාදු නොකර සිටීම වඩා හොඳයි.

තැම්බුම් හොද්ද රෑ කායම් හොද්ද

අවශ්‍ය ද්‍රව්‍ය -

වියළි මිරිස්‌ කරල් 2

ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌

සුදුලූනු කරපිංචා

සූදුරු කොත්තමල්ලි ස්‌වල්පයක්‌

උම්බලකඩ රතු ලූනු

ගොරකා බික්‌ 2 ක්‌ 3 ක්‌

ලුණු

සාදා ගන්නා ආකාරය

මිරිස්‌, ගම්මිරිස්‌, සුදුලූනු, කරපිංචා, සූදුරු, කොත්තමල්ලි සියල්ල මිරිස්‌ ගලේ අඹරා රතු ලූනු, ලුණු, උම්බලකඩ හා ගොරකා දමා තම්බා ගන්න.

ඔඩිතාලම් ලූණු මිරිස

අවශ්‍ය ද්‍රව්‍ය -

ඔඩිතාලම් කොළ

මිරිස්‌ කරල් කිහිපයක්‌

ගම්මිරිස්‌ ඇට

ලුණු

දෙහි

සාදාගන්නා ආකාරය -

ඉහත සඳහන් ද්‍රව්‍ය මිරිස්‌ ගලේ හොඳින් අඹරා දෙහි ඇඹුල් මිශ්‍ර කරන්න

කොල්ලු ආනම

අවශ්‍ය ද්‍රව්‍ය -

බැදපු කුඩු කරගත් කොල්ලු 100 ට

පොල් කිරි කෝප්ප 2

ලුණු මිරිස්‌, තුනපහ, කහ අවශ්‍ය පමණ

කුරුඳු පොතු, රම්පෙ කරපිංචා

සුදුලූනු, රතුලූනු, තක්‌කාලි

තෙල් ස්‌වල්පයක්‌

සාදා ගන්නා ආකාරය -

කොල්ලු තුනපහ, මිරිස්‌, කහ අවශ්‍ය ප්‍රමාණයට හට්‌ටියකට දමන්න. එයටම කපාගත් කුරුඳු පොතු, රම්පේ, කරපිංචා, සුදුලූනු, රතු ලූනු, තක්‌කාලි දමා පොල්කිරි ද මිශ්‍ර කර මඳ ගින්නේ උයන්න. හොඳින් තැම්බුණු පසු තෙම්පරාදු කර ගන්න.

කුරක්‌කන් තලප

අවශ්‍ය ද්‍රව්‍ය -

කුරක්‌කන් පිටි 250 ට

ලුණු ස්‌වල්පයක්‌

අවශ්‍ය පමණ වතුර

සාදා ගන්නා ආකාරය

මැටි හට්‌ටියකට වතුර ලිප තබා උතුර වන්න. එම වතුරවලින් කොටසක්‌ ඉවත් කර ඉතිරි වතුරවලට කුරක්‌කන් පිටි ටික දමා හැඳි ගාන්න. එය තලපයක්‌ සේ සැදෙන විට ඉවතට ගත් වතුර ස්‌වල්පය බැගින් දමමින් හොඳින් හැඳි ගාන්න. තලප පදම එන විට ලිපෙන් ඉවත් කර කුඩා අඩි වළඳක වතුර තවරා තලපයෙන් හැන්දක්‌ දමා කරකවා බෝලයක්‌ ආකාරයට සකස්‌ කරගන්න. එසේ නොමැති නම් තැටියකට වතුර තවරා කෙසෙල් කොළයක්‌ ගෙන බෝලයක්‌ සේ සාදා ගන්න.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය

No comments:

Post a Comment